April 30, 2024

බුරවීට මුහුණ දෙන්න අදාළ දිස්ත්‍රික්කවල සියල්ල සූදානම් - අමාත්‍යවරයා පාර්ලිමේන්තුව දැනුවත් කරයි

December 02, 2020

ඉදිරි පැය කිහිපය තුළ ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති කරන බුරවී සුළි කුණාටුව සම්බන්ධයෙන් හා ඊට මුහුණ දීමට ගෙන තිබෙන පියවර පිළිබඳව නව ආපදා කළමනාකරණ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී වීශේෂ ප්‍රකාශයක් කරන ලදී.

බුරවී සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වන දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන ඇති තිුකුණාමලය, මඩකලපුව, මුලතිව්, වව්නියාව, මන්නාරම, යාපනය හා පුත්තලම යන දිස්ත්‍රික්කවල ප්‍රඡාව දැනුවත් කොට සුළි කුණාටුව මුහුණදීමට අවශ්‍ය සියලුම අංශ සූදානම් කොට සම්බන්ධීකරණය කොට තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එම කටයුතු අදාල දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා මේ වන විටත් සිදු කොට හමාර බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර ලදී.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය, කාලගුණ දෙපාර්තමේන්තුව, ආපදා සහන සේවා මධ්‍යස්ථානය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශවකාර ආයතන සියල්ලම බුරවී කුණාටුවට මුහුණ දීම සඳහා සූදානම් කර තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

බුරවී සුළි කුණාටුවෙන් පීඩාවට පත්වන ධිවර ප්‍රජාව එම ස්ථානවලින් ඉවත් කිරීමටත් එම ප්‍රජාවට අයත් ආම්පන්න රට තුළට ගෙන ඒමටත් මේ වන විටත් කටයුතු කර තිබෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා ජල ගැලීම් ඇති වූවොත් ඉන් ජනතාව මුදා ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව සඳහන් කරන ලදී.

සුළි කුණාටුව හේතුවෙන් අඩාල වන යටිතල පහසුකම් පැය විසි හතරක් තුල අලුත්වැඩියා කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පීඩාවට පත්වන ජනතාවට ආහාර හා අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා මේ වනවිටත් අදාළ දිස්ත්‍රික්කවල සෑම ප්‍රාදේශීය ලේකම්වරයෙකුටම රුපියල් මිලියනයක මුදලක් ලබා දී තිබෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා තවත් ප්‍රතිපාදන අවශ්‍ය නම් ඒ සඳහාද අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බවද අවධාරණය කරයි.

සුළි කුණාටුව හේතුවෙන් නොවැම්බර් 27 වැනිදා සිටම නැගෙනහිර පළාතේ ධීවර කටයුතු නතර කර දැමීමට ද පියවර ගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 December 2020 12:16