May 03, 2024

කොරෝනා මැද පාසල් පටන් ගන්නැයි තීන්දුව ගත්තේ කවුද? ඇමැති ජී.එල් කියයි

November 26, 2020

පාසල් ආරම්භ කිරීමට ගත් තීරණය වගකීම් විරහිතව ගත් තීරණයක් නොවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද(26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පවත්නා කොවිඩ් වසංගතය හමුවේ දිගින් දිගටම පාසල් වසා දැමීම ප්‍රායෝගිකව සාර්ථක නොවන බවත් එම අභියෝගයට මුහුණ දෙමින් රජය පාසල් විවෘත කිරීමේ තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

විවේචනයන්ට බියේ කිසිවක් නොකර සිටීම ඊට විසඳුමක් නොවන බව පැවසූ අමාත්‍යවරයා දිගින් දිගටම පාසල් වසා තැබීම යනු සිසුන්ගේ ජීවිත වසා තැබීමක් බව පැවසීය.

පාසල් යළි විවෘත කිිරීම සම්බන්ධයෙන් දෙමාපියන්ගේද දැඩි ඉල්ලීමක් පැවති බවද දරුවාගේ ආරක්ෂාව, මෙන්ම දරුවාගේ ජීවිතය යන තීරණාත්මක සාධක සළකා ඒ අනුව මෙම තීරණය ගත් බවත් එසේ නොමැතිව වගකීම් රහිතව ගත් තීරණයක් නොවන බවත් අවධාරණය කළේය.

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමේදීද මෙම අභියෝගයට මුහුණ දුන් බවද එහෙත් දෙවතාවක් ප්‍රමාද වූ උසස් පෙළ විභාගය බාධක හමුවේ වුවද පැවැත්වීම සම්බන්ධයෙන් අද එම දෙමව්පියන්ගේ ප්‍රශංසාව හිමි වී ඇතැයිද සඳහන් කළේය

මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන්ද බොහෝ පාර්ශව කියා සිටියේ, එය කොවිඩ් පවතින මෙවන් මොහොතක දරුවන් අනතුරේ හෙළීමක් වනු ඇති බවයි. එහෙත් සියලු සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සහ ප්‍රවාහන අංශ මෙන් ම, පළාත්, කලාප, සහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාල, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ලබාදුන් පූර්ණ දායකත්වය සහ රජය කෙරෙහි තැබූ පූර්ණ විශ්වාසය හේතුවෙන් පසුගිය ඔක්තෝබර් 11 වැනි දින ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නට හැකිවූ අතර  දින 33ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ විභාග ප්‍රතිඵල නිකුත් කරන්නට ද විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළ බවද කීය.

පාසල් විවෘත කිරීමට පෙර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට තමා පෞද්ගලිකවමක කතා කළ බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය, විදුහල්පතිවරු ඇතළු සෑම දෙනා සමගම සාකච්ඡා කර ඒ ඒ පළාත් වල තත්වය අධ්‍යනය කර පාසල්  විවෘත කිරීමේ තීරණයට එළැඹි බව සඳහන් කළේය.

සින්ක් බේසම්, විෂබීජ නාශක ද්‍රව්‍යය  ආදී ද්‍රව්‍ය පාසල් වලට ලබා දුන් බවත් ඊට අමතරව පාසල් වල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේදී යම් යම් අඩුපාඩු ඇත්නම් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට අවශ්‍ය මුදල් ගෙවීම් සම්බන්ධයෙන් පූර්ණ අවසරය  ලබා දී ඇති බවද අමාත්‍යවරයා කීය.

දරුවන් පාසල් එවීම සම්බන්ධයෙන් මේ වන විටත් දෙමව්පියන් තුළ ක්‍රම ක්‍රමයෙන් විශ්වාසය ගොඩනැගෙමින් තිබෙන බව පැවසූ අමාත්‍යවරයා තෙවැනි පාසල් වාරය සඳහා පාසල් විවෘත කර අදට දින 03ක් ගත වී ඇති බවත් පාසල් ආරම්භ කළ පළමු දිනයේ සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය 33%ක් බවත්, 24 වන දා 44%ක් සහ ඊයේ දින‍යේදී එය 51 % ක් දක්වා වර්ධනය වී ඇති බවද  සඳහන් කළේය

දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් පාසල් පවත්වාගෙන යාමට රජයක් වශයෙන් අවතීර්ණ වී සිටින බවත් වගකීම ඉටු කරන බවද අමාත්‍යවරයා පැවසිය. 

Rate this item
(2 votes)