July 03, 2024

ආයෝජන මල්ලකුත් රැගෙන ආසියාවේ බලවතා අද දිවයිනට

September 16, 2014
ශ්‍රී ලංකාවත් චීනයත් අතර ඵෙතිහාසික මිතුදම් තර කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න ආයෝජනත් රැගෙන චීන ජනාධිපති ෂි ජිංපිංග් (xi jinping) මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද  ශ්‍රී ලංකාවට පැමිණෙයි.
 
අමෙරිකානු ඩොලර් බිලියන 1.34ක චීන ණය ආධාර මත ඉදිකිරීම් අවසන් කළ ‍නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ අවසන් අදියර ජනතා අයිතියට පත් කිරීමත් චීන ආයෝජනයක් මත අමෙරිකානු ඩොලර් බිලියන 1.3ක වියදමින් ගාලු මුවදොර පිටිය අසළ මහ සමුදුර ගොඩකර ඉදිකෙරෙන කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යෘතියේ වැඩ ආරම්භ කිරීමත් චීන ජනාධිපතිතුමාගේ සංචාරයට සමගාමීව සිදුකෙරේ.
 
මීට අමතරව චීන ජනාධිපතිතුමාගේ මේ සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට සහ චීනයට ද්වීපාර්ශවික වශයෙන් වැදගත් වන අවබෝධතා ගිවිසුම් 20කට අත්සන් තැබිමට නියමිතය.ශ්‍රී ලංකාවේ දැවැන්ත ව්‍යාපෘති රැසකටම දායකත්වය ලබා දී තිබෙන චීන සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයකු මෙරට සංචාරය කරන්නේ වසර 28 පසුව වීම සුවිශේෂී කරුණක් වන අතර චීනයේ හිටපු ජනාධිපති ලී ෂියනියන් මහතා 1986 වසරේ දී මෙරට සංචාරයක නිරතවී ඇත.
 
හම්බන්තොට වරායේ ප්‍රථම අදියර සඳහා අමෙරිකානු ඩොලර් 361ක් හා දෙවැනි අදියර සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 808ක් වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1169ක ණය ආධාර ලබා දුන් චීන එක්සිම් බැංකුව කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සඳහා ලබා දී ඇති ණය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 248කි.
 
ශ්‍රී ලංකාවේ දෙවැනි අන්තර්ජාතික ගුවන්තොටුපළ වශයෙන් ඉදිකෙරුණු මත්තල රාජක්ෂ අන්තර්ජාතික ගුවන්තොට සඳහා චීනය අමෙරිකානු ඩොලර් මිලියන 190ක ණය ආධාර ලබා දුන්නේය. දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩි. බණ්ඩාරනායක අගමැතිතුමන් සිහිවිම පිණිස චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ඉදිකෙරුණු බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව සම්පූර්ණයෙන් නවීකරණය කිරීම සඳහා වැය කළ මුදල රුපියල් බිලියන දෙකකි.
 
එසේම චීන ශ්‍රී ලංකා මිතුදම් සිහිපත් කරවීම උදෙසා චීන සමූහාණ්ඩුවේ පරිත්‍යාගයක් වශයෙන් ඉදිකෙරුණු නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගශාලාව සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 3000කට අධිකය.
 
කොළඹ, ඩී. ආර්. විජයවර්ධන මාවතේ ඉදිකෙරන නෙළුම් කුලුන සඳහා චීන රජය ලබා දුන් මුදල රුපියල් මිලියන 104. 3කි. කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩවත සිට කෙරවලපිටිය දක්වා කොටස ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුව ප්‍රදානය කළ ණය මුදල් භාවිතා කෙරේ.
 
1957 වසරේ චීනයත් ශ්‍රී ලංකාවත් අතර ඇරැඹි පූර්ණ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඉතා ඉහළ මට්ටමකට වර්ධනය කරන්නට සමත් වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය පාලන සමය තුළ වැඩිම වතාවක් සංචාරය කළ රට චීනය වේ. 2007- 2014 කාලය තුළ ජනාධිපතිතුමා සත් වරක් චීනයේ සංචාරය කර තිබේ.
 
චීන ජනාධිපති ෂි ජිංපිංග් මහතා සිය සංචාරය අතරතුර ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගමැති දි.මු ජයරත්න සහ කථානායක චමල් රාජපක්ෂ මහත්වරු ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතයි. දෙරටට ද්වීපාර්ශවික වශයෙන් වැදගත් වන කරුණු රැසක් කෙරෙහි මෙහිදී අවධානය යොමු කරනු ඇත.
 
චීන ජනාධිපති ෂි ජින්පින් මහතා සමඟ ජනාධිපති ආර්යා පෙන්ග් ලියුආන් මහත්මිය ඇතුළු එරට ඉහළ පෙළේ රාජ්‍ය දූත පිරිසක් ද ශ්‍රී ලංකා සංචාරයට සහභාගී වීමට නියමිතව තිබේ. 2013 වසරේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ චීන සංචාරයේ දී දෙරටේ නායකයෝ අතර ක්‍රමෝපාය සහයෝගීතා සබඳතාවකට ද එකඟ වී තිබේ. 
Rate this item
(0 votes)