May 08, 2024

යුද හමුදාව “ඩ්‍රෝන රෙජිමේන්තුව“ ස්ථාපිත කරයි - පළමු යානය හමුදාපති ගුවන්ගත කරයි (PHOTOS)

November 13, 2020

තාක්‍ෂණික දියුණුව හමුවේ නව අභියෝගයන්ට මුහුණදීමට සුදානමින් සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තවත් එක් සන්ධස්ථානයක් පසුකරමින්, ඊයේ (12) ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මුලස්ථානයේදී පැවැති උත්සවයකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා රෙජිමේන්තුව ස්ථාපිත කෙරිණි.

මෙහිදී, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක සහ කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ මහතා විසින් පිළිගැනීමේ දේශනය සිදුකළ කළේය. ඉන් අනතුරුව යුද හමුදාධිපතිවරයා විසින් යුද්ධ හමුදා නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා රෙජිමේන්තුව ස්ථාපිත කිරිම සංක්තවත් කරමින් නව නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානායක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක වෙත භාර දුන්නේය.

යුද හමුදාධිපතිවරයා ඇතුළු මෙම අවස්ථාවට එක්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ප්‍රදර්ශනය සඳහා එක්කර තිබු ඩ්‍රෝන යානා පරික්‍ෂා කළ අතර පළමු නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානය හමුදාපතිවරයා ගුවන්ගත කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිනවයෙන් ස්ථාපිත නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා (DRONE) රෙජිමේන්තුව ඉතා උසස් තාක්‍ෂණික අංගෝපාංගයන්ගෙන් සමන්විත වන අතර හමුදා සහ හමුදා නොවන අවස්ථාවන් නිරීක්‍ෂණය කිරීමේ අරමුණින් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කළ හැකිය.

ජාතික ආරක්‍ෂක අවශ්‍යතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ග 2020-2025’ ට අනුකූලව සකස් කරමින් නව තාක්ෂණික අභියෝග සහ තර්ජන හමුවේ යුද්ධ හමුදාව සූදානම් කිරීම සඳහා මෙම සුවිශේෂී රෙජිමේන්තුව රාජකාරිවල යෙදීමෙන් සංවේදී තොරතුරු එක්රැස් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

අභිනවයෙන් ස්ථාපිත යුද්ධ හමුදා නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා (DRONE) රෙජිමේන්තුව තර්ජනාත්මක අවස්ථාවන් පිළිබඳ මෙහෙයුම් මට්ටමේ නිරීක්ෂණය කිරීම, නිරවද්‍ය ඉලක්ක තහවුරුකර ගැනීම, පශ්චාත් යුධ හානි තක්සේරු කිරීමේ හැකියාවන් සහ ආපදා අවම කිරීම මෙන්ම ජාතිය ගොඩනැගීමේ ප්‍රයත්නයන් සඳහා ද යොදාගැනීම අපේක්ෂා කෙරේ.

Rate this item
(0 votes)