May 03, 2024

කොරෝනා තොරතුරු සඟවන්නන් අත්අඩංගුවට

කෝවිඩ්-19 වයිරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට හා පොලිසියට කරුණු සඟවන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

සේවක සේවිකාවන් සහ ඇතැම් ආයතන ප්‍රධානීන් හමුවීමට සෞඛ්‍ය බලධාරීන් හා පොලිස් නිලධාරීන් ගිය අවස්ථාවේ ඔවුන් තොරතුරු ලබාදීමට මැලිකමක් දක්වන බවට තොරතුරු වාර්තා වී ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මොවුන් සම්බන්ධයෙන් නීරෝධායන හා අපරාධ නීතිය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කර්මාන්ත ශාලාවේ හෝ, එයට අනුබද්ධ ආයතනවල හෝ, නිවෙස්වල ගිය අවස්ථාවල දී කිසියම් කෙනෙක් යම් කරුණක් සඟවන්න උත්සහ ගන්නේ නම් එය නීතියෙන් වරදක් බවත්, මෙවැනි ක්‍රියා තුලින් මෙම අවදානම් තත්ත්වයෙන් මිදීමට නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.

මෙම කර්මාන්ත ශාලාවල කැස්ස, උණ වැළදී සිටි පිරිස, නිවෙස්වලට ගිය පිරිස, නිවෙල්වල සිට පැමිණි පිරිස, සමීපව ගැවසුන පිරිස ආදී මෙම සියලු තොරතුරු සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම් දිය යුතු බවද අජිත් රෝහණ මහතා පැවසීය.

එවැනි තොරතුරු වසන් කර විමර්ශනයේ එම කරුණු හෙළි වුවහොත් එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර නීතිය ක්‍රියාත්මක කරන බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය.

Rate this item
(1 Vote)