May 13, 2024

දිවි නැඟුමෙන් ඇප රහිතව ණය දෙයි

දිවි නැඟුම සහනාධාර ලබන සෑම පවුල්කටම සහන පොළියට ණය ලබාදීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් ඒ යටතේ දිවි නැඟුම පවුල් වෙත ඇප රහිතව ණය ලබාගත හැකි බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ  මහතා පවසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ස්වයංරැකියා ආරම්භ කිරීම ඇතුලු කටයුතු සඳහා රුපියල් 5000 සිට 50,000 දක්වා  4%ක් වූ අඩු පොළී අනුපාතයකට ණය ලබා දීම සිදු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 

මුදල් අමාත්‍යංශයේ දී පසුගියදා පැවති සාකච්ඡාවකදී  මේ බව පැවසූ අමාත්‍යවරයා සඳහන් කළේ දිවි නැඟුම පවුල් විසින් දිවි නැඟුම බැංකු තුළ තැම්පත් කළ මුදල්වලින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි. 

ඇතැම් ජනතාව වැඩි පොළියට මූල්‍ය ආයතන මඟින් ණය ලබාගෙන ණය බරින් මිරිකි සිටින බවත් ඔවුන්ට එම ණය බරින් මිදීමට ද මෙම ණය ලබාගත හැකි බවත් අමාත්‍යවරයා පැවසී ය. 

Rate this item
(0 votes)