May 13, 2024

"බොදුබලය" ලිහපු නැති අවුලක ප‍්‍රතිඵලක්

භික්‍ෂූන් වහන්සේලා මුල් වී පවත්වාගෙන යන එක් එක් සංවිධානවල යම් යම් හැසිරීම් ගැන මේ දිනවල කතිකාවක් ඇති වී තිබෙන බවත් එම හැසිරීම් ‘නුසුදුසු නම්’ එවැනි නුසුදුසු හැසිරීමක් මගින්ද පිට වෙන්නේ එදා ඒ ලිහපු නැති අවුලේ ප‍්‍රතිඵල බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ පසුගිය දා ‘ජාතියේ ඉදිරි ගමන් මග සහ ධර්මපාල චින්තනය’ යන මැයෙන් කොළඹ මාළිගාකන්ද මහ පිරිවෙනේදී පැවැති විද්වත් කතිකාවතේදී ය.

අනගාරික ධර්මපාලතුමන් සිදු කරනු ලැබුවේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී බලයෙන් මිදී ගොඩනැගිය යුතු වූ නව ජාතික රාජ්‍යයට උවමනා කරන මතවාදී දර්ශනය, චින්තනය සහ එහි හැඩය පිළිබඳ අදහස් සමාජගත කිරීම යැයි අමාත්‍යවරයා පැවසී ය. 

ගුණදාස අමරසේකරයන් මේ රටේ ඉන්න බුද්ධිමතුන් අතර අග‍්‍රගණ්‍ය බුද්ධිමතා වන්නේ, මේ ඵෙතිහාසික සමාජ පෙරළියේ උවමනාවන්ට සාපේක්‍ෂව, ධර්මපාලතුමන්ගේ නියම භූමිකාව වූයේ කුමක්දැයි ඉතාමත් නිවැරදිව ජාතිය හමුවේ පෙන්වා දුන් නිසා බවත් මේ තත්ත්වය හමුවේ අපි කළ යුත්තේ කුමක්ද? යන්න තේරුම් කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

"1956 පෙරළිය, 1971 ජනතා නැගිටීම, 1972 ජනරජ ව්‍යවස්ථාවක් ගෙන ඒම ආදී සියල්ල මා දකින්නේ, සුද්දාට ඕනෙ විදිහට ගොඩනගපු මේ ජාතික රාජ්‍යයේ අසම්පූර්ණභාවය ජනතාව විසින් ප‍්‍රශ්න කළ එක් එක් ආකාරයන් ලෙසයි. ඒ අවුල ලිහන්න උත්සාහ කළ එක් එක් ආකාරයන් ලෙසයි. භික්‍ෂූන් වහන්සේලා මුල් වී පවත්වාගෙන යන එක් එක් සංවිධානවල යම් යම් හැසිරීම් ගැන මේ දිනවල කතිකාවක් ඇති වී තිබෙනවා. එම හැසිරීම් ‘නුසුදුසු නම්’ එවැනි නුසුදුසු හැසිරීමක් මගින්ද පිට වෙන්නේ එදා ඒ ලිහපු නැති අවුලේ ප‍්‍රතිඵල. ඒ අවුල ලිහන තැනට ජාතිය ගෙන යාම තමයි ධර්මපාලතුමන් වෙනුවෙන් අපට කරන්න තියෙන්නේ. ධර්මපාලතුමන්ගේ 150 වැනි ජන්ම සංවත්සරය යෙදෙන මේ කාලවකවානුව කියන්නේ මේ සටනට යළි ජාතිය යොමු කළ යුතු කාලයයි." යැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)