April 28, 2024

ඉව්වා පිහුවා නංගිව බැලුවා..පිහියෙන් ඇන්නෙත් ඒ අක්කාමයි

බඩල්කුඹුර අළුපොත බංගලාවත්ත ප‍්‍රදේශයේදී ඝාතනයට ලක්වූ  සය හැවිරිදි දැරියට ආහාර පිස කවා පොවා රැකබලා ගෙන ඇත්තේ ද මරණය සිදුකළ 11 හැවිරිදි අක්කා විසින්ම බව පොලිසිය පවසයි. මෙසේ මියගොස්‌ ඇත්තේ බඩල්කුඹුර අලුපොත බලකොටුව ප්‍රදේශයේ පදිංචි සදීරා බාබු  නමැති සය හැවිරිදි දැරියයි. 
 
 ගසකින් වැටීමෙන් හය හැවිරිදි දැරියක්‌ මියගිය බවට බඩල්කුඹුර පොලිසියට ලැබුණු පැමිණිල්ලක්‌ මත පරීක්‍ෂා කිරීමේදී මියගිය දැරියගේ උදරයේ කැපුම් තුවාල තිබීම නිසා එම මරණය පිහියකින් ඇනීමෙන් සිදුවූ බවට සැක පහළවී ඇත. මියගිය දැරියගේ දෙමාපියන්ගෙන් හා දහතුන් හැවිරිදි සහෝදරියගෙන් ප්‍රශ්න කීරීමේදී තමා නංගීට පිහියෙන් ඇන්න බව සොහොයුරිය පිළිගෙන ඇත.
 
දැරියන් දෙදෙනාගේ මව මැදපෙරදිග ගෘහ සේවිකාවක ලෙස සේවය කොට මීට මාස තුනකට පමණ ඉහතදී මෙරටට පැමිණ ඇත. ලබන සතියේ නැවත වරක්‌ ඇය මැදපෙරදිග සේවයට යැමට සූදානම්ව සිට ඇත.
 
වැඩිමහල් දැරියගේ පාසල් ගමන ද ඇනහිට ඇත්තේ මව විදේශගත වීම නිසාය. තම නැඟනිය කුඩා කාලයේ සිටම රැකබලාගෙන ඇත්තේ අක්‌කා විසිනි. එපමණක්‌ ද නොව ඉවුම් පිහුම් ඇතුළු නිවසේ සියලු කටයුතු කර ඇත්තේ ද ඇය විසිනි. ඇය දැඩි මානසික පීඩනයකින් කල්ගත කර තිබෙන බව වාර්තා වෙයි.
 
ඇය නංගීව නිවස පිටුපසට කැඳවාගෙන ගොස්‌ පිහියෙන් යටි බඩට ඇන ඇති අතර දෙමාපියන් විසින් ඇයව ගසකින් වැටුනා කියා රෝහල්ගත කර තිබේ.දැරියගේ සොහොයුරිය මේ වන විට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Rate this item
(1 Vote)