April 28, 2024

ගම්පහ, කොළඹ ඒඩ්ස් රෝගීන්ගේ වර්ධනයක් 

ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවලින් ඒඩ්ස් (එච්අයිවී) ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දැකිය හැකි බවත් මේ ආසාදිතයන්ගෙන් සියයට 60ක් පුරුෂ පක්ෂය වන අතර සියයට 40ක් කාන්තාවන් බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකාවේ මුල්ම ඒඩ්ස් (HIV) ආසාදිතයා 1987 දී ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් වාර්තා වූ අතර එදින සිට 2013 දක්වා HIV ආසාදිතයන් සංඛ්‍යාව 1845ක් වාර්තා වී ඇත.

අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා, අසාදිත ගැබිනි මවගෙන් දරුවාට, හවුලේ මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිරිංජර් මාර්ගයෙන් ඒඩ්ස් (HIV) රෝගය පැතිර යාමට හේතු වේ. 

රජය මඟින් හඳුනාගත් ඒඩ්ස් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම, පරීක්ෂාව හා උපදේශන සේවා ක්‍රියාත්මක කර ඇති අතර අපරික්ෂාකාරී ලිංගික සබඳතා පැවත්වූවන් හඳුනාගෙන සායනවලට ගෙන්වීම, වැළඳී ඇති පිරිස වෙනුවෙන් සායන 12ක් මඟින් ප්‍රතිජීවක ඖෂධ ලබාදීම, සෑම ගර්භනී මවකටම HIV රුධිර පරීක්ෂාව සිදු කිරීමක්ද සිදු කෙරේ.

බන්ධනාගාර රැඳවියන් සඳහා ද සායන පැවැත්වෙන අතර පාසල් ළමුන් දැනුවත් කිරීම, රුධිර පරිත්‍යාගශීලීන් පෙර පරීක්ෂාව මඟින් ද ඒඩ්ස් (HIV) රෝගයට ගොදුරුවීම වැළැක්වීමට රජය පියවර ගෙන තිබේ. 

 

Rate this item
(0 votes)