පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන සහරාන් හෂීම් සමග ස්වයං ඝාතනයට දිවුරුම් දුන් පුද්ගලයින්ගෙන් එක් අයෙකු තවමත් ජීවතුන් අතර සිටින බවත් ඔහු මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන බවත් ඒ පිළිබඳ සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අනාවරණ වී තිබේ.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් මැදිරියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් අමරසිංහ ලබාදුන් සාක්ෂි අනුවය. ඔහු කටුවපිටිය දේවස්ථානයේ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ප්‍රධාන නිලධාරියා වේ.
ප්‍රහාරයෙන් අනතුරුව උදැසන 10.45ට පමණ කටුවපිටිය දේවස්ථානය වෙත ගිය තමන්ට ස්වයං ඝාතන බෝම්බය පුපුරුවා හැරි සැකකරුගේ හිස කොටස දේවස්ථානයේ බංකුවක් මත තිබියදී නෙත ගැටුණු බව ඔහු කොමිසම හමුවේ සඳහන් කර ඇත.
බෝම්බකරු “හස්තුන්” නමැති පුද්ගලයෙකු බවට අනාවරණ කර ගැනීමට හැකිවූ බවද ඒ අනුව, 2019 වසරේ අප්‍රේල් 26 වැනි දින තමන් හස්තුන් නමැත්තාගේ දෙමාපියන් පදිංචිව සිටින වාලච්චේනේ පිහිටි නිවසට ගිය බවද එහිදී ඔහුගේ මව, පියා සහ සොහොයුරාගේ ලබාගත් සාම්පල, ප්‍රහාරකයාගේ හිසෙහි සාම්පල හා සැසදෙන බවට සිය විමර්ශනයේදී අනාවරණ වූ බවද ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් අමරසිංහ මහතා කොමිසම හමුවේ පෙන්වා දී තිබේ.
කොමිසම හමුවේ වැඩිදුරටත් සාක්ෂි ලබාදුන් අමරසිංහ පෙන්වා දුන්නේ 2019 වසරේ පෙබරවාරි මස 4වන දින මොහොමඩ් මුබාරක් නමැත්තෙකු විසින් කටුවපිටිය දේවස්ථානයට නුදුරේ පිහිටි දොන් ඬේවිඩ් මාවතේ නිවසක් සිය නමින් කුලී පදනම මත ලබාගෙන ඇති බවයි.
හස්තුන් නමැති ප්‍රහාරකයා එම නිවසේ රැඳී සිට ඇති බව තමන් ආරක්ෂිත කැමරා දර්ශනවලින් අනාවරණ කරගත් බවද ඔහු කොමිසම හමුවේ වැඩිදුරටත් අනාවරණ කළේය.