July 03, 2024

මරණය පෙනි පෙනී 'මගියෙක් රූගත කළ' ජෙට් යානයේ දර්ශන(VIDEO)

කටාර් ගුවන් සේවයට අයත්  ගුවන් යානයක පුපුරණ ද්‍රව්‍ය ඇතැයි ලැබුණු ආරංචියක් අනුව එම යානය බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීමට ඊයේ සිදුවුයේ තවත් ගුවන් භීතිකාවක් මවමිනි.මෙම ගුවන් යානයේ පුපුරණ ද්‍රව්‍ය ඇතැයි බොරු තොරතුර ලබාදුන් 47හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගත්තද මැන්චෙස්ටර් ගුවන් තොටුපොළේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමටද බ්‍රිතාන්‍යට සිදුවිය.

මෙම පුපුරණ ද්‍රව්‍ය ඇතැයි ලැබුණු ආරංචියක් අනුව එම යානය පසුපස ප්‍රහාරයක ජෙට් යානයක් හඹා ගිය අතර එම සිදුවීම QR23 යානය තුළ ගමන් ගත් මගීන් 269ක් හා කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු අතරින් අයකු විසින් කැමරාකර තිබුණේ මරබියද අමතක කරමිනි.රාජකීය ගුවන් හමුදා ප්‍රහාරය යානය විසින් කටාර් යානය මැන්චෙස්ටර් වෙත ගොඩබස්වන තුරුම ඒ ආසන්නයෙන් ගමන් කර ඇත්තේ ඇතිවිය හැකි ඕනෑම හදිසි අවස්ථාවකට මුහුණදීම සඳහාය.

මේ අතර සෞදි අරාබියා  ගුවන් සේවයට අයත් යානයක් පිලිපීනයේ ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ගුවන් පථයෙන් පිටතට ගමන් කිරීමෙන් යානා 12 පමණ ගුවන් ගමන් ප්‍රමාද වූ බව පිලිපීනය කියයි.

ගුවන් මගින් සංචාරය කරන්නන් සඳහා වඩාත් අපල වසරක් වන මෙම 2014 වසරේදී මගී ගුවන් යානා විනාශ වුවා මෙන්ම බෝම්බ බිය ඇතිකළ අවස්ථාද වැඩි ගණනක් වාර්තා විය.

පසුගිය පෙබරවාරි මාසයේදී ඩුබායි සිට ස්විඩනයේ ස්ටොක්හෝම් ගුවන් තොටුපල දක්වා  පියාසර කරමින් තිබූ යානයක  බෝම්බයක් ඇතැයි ශ‍්‍රී ලාංකිකයකු බිය ගැන්ව තිබු අතර  මෙම වසරේදීම ශ්‍රී ලංකන් ගුවන් යානයක බෝම්බ බියක් ඇති කළ පුද්ගලයෙකුට එරෙහිව වසර තුනක සිර දඩුවමක්  ලබාදීමට එංගලන්තයේ චෙස්ල්ම්ස්ෆෝර්ඩ් අධිකරණයද කටයුතු කළේය.මෙසේ වසර තුනක සිර දඬුවමක් ලබා දී ඇත්තේ ඇලන් පැටේ නැමැත්තෙකුටයි.

එයාර් ඉන්ඩියා ගුවන් සේවයට අයත් යානයක් ද බෝම්බ ඇති බවට ලැබුණු අසත්‍ය තොරතුරක් නිසා  හදිසියේම මේ වසරේදී බැන්ගලෝර් ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩ බැස්වීමට සිදු විය.

(ගුවන් යානය පසුපස ප්‍රහාරයක ජෙට් යානයක් හඹා ගිය අයුරු වීඩියෝව සහ සේයාරූ පහතින් නරඹන්න)

(සුරංග අල්විස්)

 

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 06 August 2014 00:52