July 03, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

රන්ජන් - ඇතුලත්මුදලි ඝාතනයේ ඇත්ත කතාව

• ඔබේ නම .....?

මම ජනක මල්ලිමාරච්චි.

• වෙනත් විදියකින් ඔබව හැඳින්වුවහොත්....?

එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු ඇමැතිවරයකු වූ වීරසිංහ මල්ලිමාරච්චිගෙ බාල පුතා.

• ඔබේ පාසල, ඉගෙනීම, රැකියාව....?

1981 දී කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ඉගෙනීම් කටයුතු අවසන් කරලා ඉස්සර වෙලාම යන්නේ රජයේ චිත්‍රපට අංශයේ පුහුණුවන කැමරා ශිල්පියෙක් හැටියට. එතැන ටික දවසක් ඉන්නකොට ස්වාධීන රූපවාහිනි සේවය රජයට පවරා ගන්නවා. ඒ පවරා ගැනීමේදී තේවිස් ගුරුගේ මහත්මයා මට කතා කරනවා සේවයට එන්න කියලා. ඒ අනුව මම ඉස්සර වෙලාම ස්වාධීන රූපවාහිනියේ පී.ඇල්.ඒ සෝමපාල මහතාගේ සහාය. නිෂ්පාදකවරයෙක් වශයෙන් සංගීත අංශයේ වැඩට යනවා.

එතැන වැඩකටයුතු කරගෙන ඉන්නකොට ජාතික රූපවාහිනි සංස්ථාව ඇරැඹෙනවා. රූපවාහිනි සංස්ථාවේ පළමුවැනි වැඩසටහන් සහ කාර්මික නිලධාරීන් දහදෙනෙක් පමණ අපි එනවා ස්වාධීන රූපවාහිනියේ සිට ජාතික රූපවාහිනියට. එහි පළමුවැනි කණ්ඩායමට සහාය නිෂ්පාදකවරයෙක් හැටියට මම බැඳෙනවා.

ලංකාවෙන් රූපවාහිනි වැඩසටහන් පිළිබඳ මුල් වරට විදේශීය රටකට කණ්ඩායමක් යවනවා පුහුණුවකට. ඒ කණ්ඩායමට ලූෂන් බුලත්සිංහල, බන්දුල විතානගේ, මම ඇතුළු තවත් කාර්මික ශිල්පීන් දහ දෙනෙක් පමණ ඇතුළත් වෙනවා.

• කොහෙටද යන්නේ....?

මැලේසියාවට. රූපවාහිනිය පිළිබඳ විදේශ පුහුණුවක් ලැබූ ශ්‍රී ලංකාවේ මුල්ම කණ්ඩායමට සම්බන්ධ වෙන්න මට ලැබෙනවා. එතැනින් පසු වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක්. ශාලිකා පරිපාලකවරයෙක් වශයෙන් ජාතික රූපවාහිනියේ වැඩවලට සම්බන්ධ වෙනවා.

• ඒ වන විට ඔබේ පියා වීරසිංහ මල්ලිමාරච්චි ඇමැතිතුමා කොළොන්නාව ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ප්‍රකට, ප්‍රබල දේශපාලන චරිතයක්. අද කොළොන්නාව කිව්වහම ගැටලු සහගතයි, පීඩාකාරියි. ඔබේ පියාගේ සමය සමඟ සංසන්දනය කළොත්...?

ගැටලුකාරී තත්ත්වයක් කිව්වට කොළොන්නාව කියන ආසනය මගේ පියා 1977 මැතිවරණයේදී ප්‍රථම වතාවට එක්සත් ජාතික පක්ෂයට හරවා ගන්නේ. තාත්තා කොළොන්නාවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක වුණේ 1974දී. කොළොන්නාව එදා වාමාංශික ආසනයක්. ඒ වාමාංශික ආසනයේ ප්‍රබලයෙක් වූ ටී.බී. ඉලංගරත්න මහතා පරද්දල තමයි මගේ පියා 1977දී ජය ගන්නේ. විවෘත ආර්ථිකයත් එක්ක මගේ පියාට වැඩ කරගෙන යන්න ලැබෙන්නේ.

එහි හොඳ සහ නරක දෙඅංශය තුළ දෝලනය වෙමින් ගියත් මගේ පියා 1994 ඔක්තෝබර් 24දා තොටළඟ බෝම්බයෙන් මිය යන මොහොත වන විටත් අදට වඩා හොඳ තත්ත්වයකින් කොළොන්නාව තිබුණා. හොඳ පරිසරයකින් තිබුණා. 1994යි අදයි බලනකොට කොළොන්නාව දරුණු ඛේදවාචකයකට ගොදුරු වෙලා.

• ඇයි ඔබ එහෙම කියන්නේ....?

උදාහරණයක් හැටියට කිව්වොත් මගේ පියා ඉන්නකොට භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වගේ අයත් එක්ක සටන් කළා. මොවුන් සටන් කළේ දේශපාලනය මත වේදිකාවේදී පමණයි.

• ප්‍රතිපත්තිමය සටනක්....?

පැහැදිලිවම ඔවුන් ගෙනිච්චේ ප්‍රතිපත්ති අතර සටනක්. ඔවුන්ගේ තිබුණේ නෑ මේ අතින් පයින් ගහගන්න වෛරී දේශපාලනයක්. කිසිම දෙයක් තිබුණෙ නෑ. ඒක සම්පූර්ණයෙන් වෙනස් වෙලා සම්පූර්ණයෙන්ම ඛේදවාචකයක් වෙලා තියෙන්නේ.

සමහර මිනිස්සු මගේ පියා හැඳින්වූයේ ඉතා දරදඬු, තද පරුෂ පුද්ගලයෙක් වශයෙන්. එහෙම ඉඳලත් භාරත ලක්ෂ්මන්ලා, බෙනට් කුරේලා එක්ක ඉඳලා කවදාවත් පොලිසියකට එකිනෙකාට විරුද්ධව 'ඇන්ටි්‍රයක්'වත් දාන්නේ නැතිව වැඩ කළා. දැන් තත්ත්වය ඉතා දරුණුයි. කිසි කෙනෙක් නෑ. කුඩු තිප්පොළවල් පැතිරිලා. ඉතා දරුණු ගණයේ ආසනයක් බවට පත්වෙලා. මගේ පියාගේ කාලෙත් එක්ක බලනකොට අද ඉතාම දරුණුයි.

• ඔබ පියාගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධව හිටියා. තාත්තත් එක්ක දේශපාලන කටයුතු කරනකොට ලැබුණු, තාත්තා කියපු අත්දැකීම් ඔබට ඇති...?

අත්දැකීම් විශාල ප්‍රමාණයක් තියෙනවා. අත්දැකීම් විශාල ප්‍රමාණයක් ලැබෙන්නේ මම රූපවාහිනියේ වැඩකරන අතරතුරම මම තාත්තාගේ දේශපාලන වැඩකටයුතුවලට සහභාගි වුණා විවේකය ලැබෙන පරිදි.

විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ඝාතකයකු වෙතින් මරණයට පත්වුණු මගේ වැඩිමහල් සහෝදරයා තමයි දේශපාලනයේ යෙදිල හිටියේ. අයියගෙ නම ජයන්ත මල්ලිමාරච්චි. ඔහු කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රි වෙලා හිටියා. අපේ තාත්තා මුලින්ම කොළඹ නගර සභාවට තේරී පත්වුණේ 1962 දී.

ඊට පස්සේ 1965 දීත් නාගරික මන්ත්‍රි වුණා. කොළඹ නගර සභාවේ තාත්තාගේ දේශපාලනය තමයි අයියා ඉදිරියට ගෙන ගියේ.
ඒ අසූව දශකයේ ඉඳල 1995 විතර වෙනකම් විශාල අත්දැකීම් සම්භාරයක් තියෙනවා.

• හරියටම ජයන්ත අයියා මරා දැමුණු දවස කියන්න පුළුවන්ද...?

1989 මැතිවරණ දිනයේ තමයි නැතිවුණේ.

• හරි එදා කොටහේනේදී සිදුවූ ජයන්ත මල්ලිමාරච්චි ඝාතනයත් එක්ක නොයෙක් කටකතා සමාජගත වුණා... ඒ ගැන අද ඔබට මොනවද කියන්න තියෙන්නේ අවුරුදු 25කට පස්සේ...?

ඉතා පැහැදිලිවම මම කියන්න ඕනෑ මේ සිද්ධිය වෙන්න මූලික වුණු කරුණු තියෙන්න පුළුවන්.

• ඔබේ පියාට, සහෝදරයාට ජනතා විමුක්ති පෙරමුණෙන් තර්ජන තිබුණද...?

පැහැදිලිවම තිබුණා. මගේ පියා සහ මගේ ජීවිත බේරාගත්තා. එක පාරක් 89 පාර්ලිමේන්තු මැතිවරණයේ කොටුවිල ප්‍රදේශයේ 'කැන්වසින්' යනකොට රාත්‍රි 7.30 - 8.00 විතර ඇති, එක මාවතකට හැරුණු ගමන් මගේ වම් අත පැත්තේ හිටපු ආරක්ෂක නිලධාරියා 'ඔළුවට මොකක්ද වැදුණා සර්" කියලා හිස බදා ගත්තා.

ඒ එක්කම බිම වැටුණු එස්ලෝන් බටයක් වගේ එකක් අනෙක් නිලධාරියා ඇහිඳ ගත්තා. ඒක මගේ තාත්තගෙ කකුල් දෙක ළඟ වැටිලා තිබුණේ. ඒක අරගෙන විසි කළා.

ඒක බෝම්බයක්. ඒක පත්තු කරල අපි ගාවට විසි කරල තිබුණේ. අපේ වාසනාවට අර ආරක්ෂක නිලධාරියාගේ හිසේ වදිනකොට වෙඩි නූල ගැලවිලා. ඒක පත්තු වුණා නම් එතැන හිටපු සෑහෙන පිරිසක් මරණයට පත් වෙනවා.

එක් දවසක ගොතටුව හන්දියේදී රැස්වීමක් තිබුණා. තාත්තා සහ මම එන්න විනාඩි පහකට කලින් ඒ රැස්වීමට බෝම්බ ගැහුවා. ඒකෙදි ධනපාල මහත්තයා,දයා සමරසිංහ කොළොන්නාවේ නාගරික මන්ත්‍රිවරයා ඇතුළු විස්සක් විතර තුවාල ලැබුවා. ඒ වගේ සිදුවීම් තිබුණා. මම ඉතාම පැහැදිලිව කියනවා ජේ.වි.පී. තර්ජන අපේ තාත්තාට තිබුණා.

ඒ වාගේම මගේ අයියා ජයන්ත සහ උතුරු කොළඹ ආසනයේ වින්සන්ට් පෙරේරා කියන්නේ තාත්තයි-පුතයි වගේම හිටපු දෙන්නෙක්. ඒ දෙන්නාගේ පෞද්ගලික ප්‍රශ්නයක් නිසා ඒ දෙන්නා විරසක වුණා.

• හැබැයි ඒ කාලෙ කතාව ගියේ ජයන්ත නෙවෙයි වීරසිංහ මල්ලිමාරච්චි සහ වින්සන්ට් පෙරේරා දෙන්නා නයි-මුගටි වගේ කියලයි...?

නෑ.... ඒක මූලිකවම වුණේ තාත්තා සහ වින්සන්ට් පෙරේරා අතර නෙවෙයි. ඒක මුලින්ම ඇති වුණේ ජයන්ත සහ වින්සන්ට් පෙරේරා ඇමැතිතුමා අතර. ඊට පස්සේ ඒක පරිවර්තනය වුණා තාත්තාගේ ගොඩට.

• දෙගොල්ලම එක්සත් ජාතික පාක්ෂිකයෝ...?

දෙගොල්ලම එක්සත් ජාතික පාක්ෂිකයෝ, දෙන්නාම ඇමැතිවරු. ජයන්ත අයියා කොළඹ නගර සභාවේ නාම යෝජනා ඉල්ලනකොට හිටපු මන්ත්‍රිවරයා හැටියට වින්සන්ට් පෙරේරා කිව්වා දෙන්න බැහැ කියලා. ඒක කෘත්‍යාධිකාරි මණ්ඩලය දක්වා ගියා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා තීන්දු කළා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ඡන්දයක් තියන්න ජයන්තට නාම යෝජනා දෙනවද නැද්ද කියලා.

• මොකද වුණේ....?

ඒකෙදි ජයන්ත අයියා දිනුවා. දිනපු නිසා නාමයෝජනා ලැබුණා. ලැබුණහම ඒකෙන් වුණු පරාජය නිසා වින්සන්ට් පෙරේරා ඇමැතිතුමා කැබිනට් ඇමැතිකමෙන් ඉල්ලා අස්වුණා. ඊට පස්සේ ලංකාවේ තියෙන සුපුරුදු දේශපාලන ගති සොබාවට අනුව මහජනතාවගේ ඉල්ලීම පිට කියලා නැවත ඇමැති ධුරයට පත්වුණා.

හැබැයි ඒ සිද්ධිය හරහා දෙපැත්තේම එක්සත් ජාතික පාක්ෂිකයෝ උතුරු කොළඹ ආසනයේ දෙකට බෙදුණා. මගේ තාත්තාට කොටසක් සහ වින්සන්ට් පෙරේරා මහතාට කොටසක්. මේ බෙදීම නිසා දෙපැත්තේම දහ දෙනෙක් විතර ඝාතනය වුණා.

අවසානයේදී මගේ අයියා ජයන්ත ඝාතනය වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ඝාතකයකු අතින්. ඒ ඝාතකයා තමයි විජය කුමාරතුංගට වෙඩි තිබ්බේ. ටාර්සන් වීරසිංහ තමයි විජයටයි මගේ අයියටයි වෙඩි තිබ්බේ.

• ඔබ වගකීමෙන් කියන්නේ එය මේ විරසකයත් එක්ක සිදුවුණු ඝාතනයක් නෙවෙයි කියලද....?

මගේ අයියා නැතිවෙලා ඔක්කොම ඉවර වුණාට පස්සේ මේ විරසක තිබුණට පස්සේ කාලෙකදි මේ වින්සන්ට් පෙරේරා ඇමැතිතුමා එනවා අපේ ගෙදර. අපේ

තාත්තා මුණගැහෙන්න එනවා ආපහු සැරයක්.

මගේ තාත්තා තමයි අවසානයේදී ඔහුගේ ආදාහන කටයුතුවල පවා මූලිකත්වය ගන්නේ. තාත්තාගේ තරහක් තිබුණේ නෑ. තාත්තා ඔහුට සමාව දෙනවා. නමුත් මගේ අම්මා කවදාවත් ඔහුට සමාව දුන්නේ නැහැ. වින්සන්ට් පෙරේරා මහතා ගෙදර පල්ලෙහා ඇවිත් ඉන්නවා. මගේ අම්මා කතාකරන්න පල්ලෙහාට ආවේ නෑ, එහෙම ආපු එක දවසක වින්සන්ට් පෙරේරා මහත්මයා උඩට ඇවිත් අපේ අම්මට කිව්වා "ප්‍රේමා, මට දරුවෙක් වගේ හිටියෙ ජයන්ත පුතා, මං ගැන වැරැදියට හිතන්න එපා ප්‍රේමා මට සමාවෙන්න" කියලා.

පස්සේ කාලෙකදි තාත්තා මට කියනව ඔහු කිව්වයි කියල මේ ජයන්ත මල්ලිමාරච්චි ඝාතනයට කුමක් හෝ සම්බන්ධයක් ප්‍රබල දේශපාලකයකුගේ එදා කිට්ටුවන්තම කෙනෙක් මේකට සම්බන්ධ වගේ ඇතියි කියලා ඉඟියක් වින්සන්ට් පෙරේරා ඇමැතිතුමාගෙන් තාත්තාට ලැබුණාය කියලා.

එදා ඉඳලා අපේ පවුලෙ අය සියලු දෙනාම විශ්වාස කරගෙන ඉන්නවා ජයන්ත අයියාගේ ඝාතනය ජේ.වී.පී. එක කරපු දෙයක් නොව, නමුත් ජේ.වී.පී. එකේ කොන්තරාත්වලට වැඩ කරන ටාර්සන් වීරසිංහ කියන ඝාතකයා හරහා සිද්ධවුණු දේශපාලන ඝාතනයක් කියලා. ඒකට වින්සන්ට් පෙරේරා සම්බන්ධද? නැද්ද? කියලා මම දන්නේ නෑ. ඒක මට කෙළින් කියන්න බෑ. නමුත් ඔහු ඉඟියක් දීලා තියෙනවා අර මුලින් කියපු ආකාරයේ.

• ඔබගේ පියා වීරසිංහ මල්ලිමාරච්චි අගමැති ප්‍රේමදාසගේ සහ ජනාධිපති ප්‍රේමදාසගේ සමීපතමයෙක් කියලා තමයි හැමෝම දන්නේ. ඉතින් මෙවැනි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්ද...?

ඒ කාලේ ඔය කියන දේශපාලඥයා සහ එයාගේ වටේ කැරකුණු පුද්ගලයොත් එක්ක බලනකොට ඉතින් මට කෙළින්ම විශ්වාස කරන්න බැහැ ජනාධිපතිතුමා ළඟ ඉන්න දේශපාලඥයෙක් එහෙම කරයි කියලා. නමුත් අපි හිතාගෙන ඉන්නේ අපිට දුන්නු පණිවුඩය අනුව ......................... මොකද වින්සන්ට් පෙරේරා ඇමැතිතුමා සහ ඔහු අතර තිබුණේ කිට්ටු සබඳතාවක්. ඉතින් වින්සන්ට් ඇමැතිතුමා කිව්ව දේ අපි විශ්වාස කරගෙන ඉන්නවා මිසක් අපට ඊට වඩා සාක්ෂි නෑ.

• නෑ... ඒක තමයි මගේ ප්‍රශ්නය වුණේ... ඔබේ පියා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සමීපතමයෙක්. මෙහෙම වෙලත් එහෙම වුණේ කොහොමද කියන එකයි....?

ප්‍රේමදාස මහත්තයාගෙ ළඟින්ම හිටපු කෙනෙක් තමයි මගේ තාත්තා. ඒක ඇත්ත. ඒත් අනාරක්ෂිතයි. හිටියේ පරිස්සම් වෙලා. මොකද කවුද කියලා දන්නේ නෑ එළියට බැහැලා ඉන්නේ.

එක පාරක් මම කොළොන්නාව හන්දියේ ඉන්නකොට සිවිල් ඇඳුමෙන් සැරසුණු හතර පස්දෙනෙක් මගේ වාහනයට ඉස්සරහින් නවත්තලා බැහැලා ඇවිත් මාව රියෙන් බස්සවා ගත්තා. මගේ අත් උස්සන්න කියලා මම කවුද කියලා ඇහුවා. මම වීරසිංහ මල්ලිමාරච්චිගෙ පුතා ජනක මල්ලිමාරච්චි රූපවාහිනියේ

කියපුවාම මොකද දන්නවද කිව්වේ?

"අඩෝ උඹගෙ තාත්තා ඇමැති වුණාට අපිට ප්‍රශ්නයක් නෑ... අපි අපේ ඇමැතිටත් කන්ට්‍රෝල් නැති එවුන් ඩෝ... උඹ රූපවාහිනියෙ කියපු නිසා සිංදුවක් හරි දාන එකෙක් හින්දා යන්න දෙනවා.... උඹ වැඩිය දැඟලුවේ නැති හින්දා පොඩි ෂේප් එකක් දෙනවා" කියලා යන්න ගියා. ඒ වගේ වාතාවරණයක් එදා තිබුණේ.

• ජේ.ආර්. ජයවර්ධන මහතා කියපු විදියට තම තමාගේ ආරක්ෂාව තමාම සපයාගෙන හිටියා... ඒකද වුණේ...?

ඔව්, ඒක තමයි වුණේ. ජේ.ආර්. මහත්තයා කිව්ව වගේ අපේ ආරක්ෂාව අපිම සපයාගෙන හිටියා. මේ සිද්ධියෙන් පස්සේ තවත් අපි කලබල වුණා. මේ එන්නේ මටද, එහෙම නැත්නම් තාත්තටද කියලා.

• වීරසිංහ මල්ලිමාරච්චි සහ ප්‍රේමා මල්ලිමාරච්චි යුවළට දරුවෝ කී දෙනයිද?

තුන්දෙනයි. ජයන්ත මල්ලිමාරච්චි ලොකු අයියා, අනුරුද්ධ මල්ලිමාරච්චි දෙවැනි අයියා. මං බාලයා.

• ජයන්ත මල්ලිමාරච්චිගේ මරණයෙන් පස්සේ ඔබ දෙදෙනාගේ ආරක්‍ෂාව ගැන තාත්තා දැඩි ලෙස සොයා බැලුවා...?

දැඩිව කටයුතු කළා. ඉතා පැහැදිලිවම අයියගේ මරණයෙන් පස්සේ අපිට වෙඩි නොවදින ඇඳුම් දෙකක් අරගෙන දුන්නා. අපි හුඟක් තැන්වල එහෙම තමයි ගියේ. තාත්තාටත් එවැනි ඇඳුමක් තිබුණා. හැබැයි එදා තොටළඟ බෝම්බය වෙලාවේ ඒක ඇඳගෙන ගිහින් තිබුණේ නෑ. ගාමිණී දිසානායක මැතිතුමාගේ ජනාධිපතිවරණයේ අවසන් මැතිවරණ වේදිකාවේදී තාත්තා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල නායකයන් රැසක්ම බෝම්බයට ගොදුරු වුණා.

• ඒ කාලේ තිබුණු කතාවක් තමයි ජනාධිපති ප්‍රේමදාස මහත්තයාගෙ පෞද්ගලික කරුණු කාරණා, තොරතුරු ඔබගේ පියා දන්නවා. එවැනි කරුණු කාරණා කතා කරන්නේ ඔබේ පියා ඇතුළු තව කිහිප දෙනෙක් එක්ක පමණයි කියලා...?

මට එතැනදී එක සිදුවීමක් මතක් වෙනවා. ඒ තමයි ලලිත් ඇතුලත්මුදලි ඇමැතිතුමාගේ ඝාතනය.

• ලලිත් ඇතුලත්මුදලි ඇමැතිතුමාගේ ඝාතනය ගැන ප්‍රේමදාස ජනාධිපතිතුමා යම්කිසි දෙයක් ප්‍රකාශ කරන්න හිටියා. නමුත් ඊට කලින් එතුමා නැති වුණා. ඒ කියන්න හිටපු දෙය ඔබේ පියාණන් දන්නවා කියල දේශපාලන කසුකුසුවක් තිබුණා...?

ඔය සිද්ධිය මුල ඉඳලම ගත්තොත් ලලිත් ඇතුලත්මුදලි මහත්තයාට වෙඩි තියන වෙලාවෙදි මගේ තාත්තා, ප්‍රේමදාස ජනාධිපතිතුමා, රේණුකා හේරත් මැතිනිය, සුසිල් සිරිවර්ධන යන අය හිටියෙ යුනිටි ප්ලාසා එකේ ජනසවිය භාරකාර අරමුදලේ 'මීටින්' එකක. ඒ මීටින් එක යන වෙලාවෙ තමයි ජනාධිපතිතුමාට කාගෙන් හරි ලේකම්වරයෙක්ගෙන් පණිවුඩයක් එන්නේ 'ලලිත් ඇතුලත්මුදලි මහත්තයට වෙඩි තියලයි' කියලා.

එතැනදි ජනාධිපතිතුමා සුසිල් සිරිවර්ධන මහත්තයට, රේණුකා හේරත් මහත්මිය එක්ක මීටිම ඉදිරියට ගෙනියන්න, පොඩි කරදරයක් වෙලා අපි යනවයි කියලා. එහෙම කියලා ජනාධිපතිතුමා මගේ පියා සමඟ වාහනයට නඟිනවා.

වාහනයට නැඟල බම්බලපිටිය හන්දියට දානකොටම වාහන පෙළ නතර වෙනවා. මේ මට මගෙ තාත්තා කිව්ව දේ. එහිදී ඉස්සරහම පොලිස් පයිලට් කාර් එකේ හිටපු නිලධාරියෙක් දුවගෙන ඇවිල්ලා ජනාධිපතිතුමාගේ රියේ හිටපු ආරක්‍ෂක නිලධාරියාට වීදුරු පල්ලෙහාට දැම්මම කියනව 'ලලිත් සර් මැරුණා කියල දැන් රේඩියෝ මැසෙජ් එකක් ආවා' කියල.

එය ඇහුණ ගමන් මගේ පියා මට කියනවා ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ඉරියව්, පපුවට අත්දෙක තියල ඔහු කියනව' කවුද මේ මනුස්සයට මේ අපරාධය කළේ... කවුද මේ අපරාධය කළේ වීරසිංහ... කවුද කළේ' කියල. 'මේක හෙණගහන අපරාධයක් වීරසිංහ' කියල. වාහන පෙළ ඉදිරියට යනවා. තව ටිකක් දුර ගිහිල්ල ප්‍රේමදාස ජනාධිපතිතුමා කියනවා.

'වීරසිංහ, මේක මාව මරන්න අටවපු උගුලක්... කවුරු වෙන්න බැරිද වීරසිංහ මේක කළේ' කියල.

• ඔබේ තාත්තාට ප්‍රේමදාස ජනධිපතිතුමා ආමන්ත්‍රණය කළේ 'වීරසිංහ' කියලා...?

ඔව්, වීරසිංහ කියලා... කතාවක් නෑ... උත්තරයක් නෑ... ජනාධිපති ප්‍රේමදාස මහත්තයා බැරෑරුම් කල්පනාවකට වැටුණාලු. එතැන ඉදන් සුචරිතයට යනකන් කිසිම කතාවක් කළේ නැතිලු. නිහඬව යනවා. එතුමා බහිනකොට කියනවා මගේ පියාට 'වීරසිංහ, මේ වාහනයෙම ගිහින් බස්ස ගන්න ගෙදර. හෙට උදේම මෙහාට එන්න' කියල.

පහුවද උදේම අපේ තාත්තා සුචරිතයට යනවා. යනකොට මොහිදීන් සහ විජිත කදිරගොන්න එතැන ඉන්නවා. එතකොට තාත්තට ඇහෙනවා ප්‍රේමදාස ජනාධිපතිතුමා කවදාවත් නැති විදියට යම්කිසි කෙනකුට කෑ ගහනවා. එතකොට තාත්තා මොහිදීන්ගෙන් අහනවා 'කාටද අර ජනාධිපතිතුමා පරුෂ වචනයෙන් බනින්නේ' කියල. එතකොට මොහිදීන් කියනවා.

'සර්... මේ තේ එකත් ගෙනියපු එක පොළොවේ ගැහැව්වා. අහවල් දේශපාලකයටයි, අහවල් පාතාලේ එකාටයි ඔය බනින්නේ' කියල. අපේ තාත්තාටත් ඒක ප්‍රශ්නයක්. මොහිදීන් අපේ තාත්තට කියනවා 'සර්, දැන් ඇතුළට යන්න එපා.' කියලා. පස්සෙ තාත්තා ඒ කීම අහල ආපහු එනවා.

නමුත් ඊට පසු වේලාවක තාත්තා ගිහින් ප්‍රේමදාස ජනාධිපතිතුමාව මුණගැහෙනවා. අපේ තාත්තා දැනගෙන හිටිය කියල මම හිතනවා කවුද මේක කළේ කියලා

MAWBIMA

Rate this item
(1 Vote)
Last modified on Monday, 04 August 2014 14:48