May 18, 2024

අන්තර්ජාල පෙම්වතාට රැවටී ගෙදර බඩුත් පිනට දීලා 

අන්තර්ජාලය ඔස්‌සේ ශ්‍රී ලංකාවේ තරුණියන් වෙබ් අඩවියක මංගල දැන්වීමක්‌ පළ කිරීමෙන් පසුව මැලේසියාවේ සේවය කරන ඉංජිනේරුවරයෙක්‌ බවට පවසා පදියපැලැල්ල, මුංවත්ත ප්‍රදේශයේ තරුණියක්‌ විවාහ කර ගන්නා බවට පොරොන්දු වෙමින් එම තරුණියගෙන් රුපියල් ලක්‍ෂ 8 ක පමණ මුදලක්‌ වංචා කිරීමේ සිද්ධියක්‌ වාර්තාවේ.

වෙබ් අඩවියේ පළ කළ මංගල දැන්වීමට අනුව තමා මැලේසියාවේ ඉංජිනේරුවරයකු බවත් ඇය විවාහ කර ගැනීමට කැමති බවත් පවසා ඇත. වරින්වර ඇය සමග දුරකතන මගින් හා අන්තර්ජාලයෙන් අදහස්‌ හුවමාරු කරගත් මෙම පුද්ගලයා ළඟදීම ලංකාවට පැමිණෙන බවත් ලංකාවට පැමිණ ඇයව විවාහකරගත් පසුව කොළඹ ප්‍රදේශයේ නව නිවසකට පදිංචියට යන බවත් පවසා නව නිවසට අවශ්‍ය සියලු විදුලි උපකරණ, ගෘහ භාණ්‌ඩ පිටරට සිට නැව්ගත කොට එවන බවටත් පවසා ඇත. 

ඒ අනුව ඇය සතුව තිබූ පැරැණි ශීතකරණය, රෙදි සෝදන යන්ත්‍රය වැනි සියලු විදුලි උපකරණ ප්‍රදේශවාසීන්ට අඩු මුදලකට අලෙවි කොට ඇත. එපමණක්‌ද නොව පෙම්වතා සමග නව නිවසකට ගොඩවැදීමේ සුබ සිහිනය අනුව ඇයගේ නිවසේ තිබූ ගෘහ භාණ්‌ඩද ඇඳුම් පැළඳුම්ද සිය ඥති හිත මිතුරන්ට නොමිලයේ බෙදා දී ඇත.

ජුනි මාසයේ විවාහ වන බවද පවසමින් ලක්‍ෂ 50 ක්‌ පමණ වටිනා විදුලි උපකරණ, ගෘහභාණ්‌ඩ සියල්ලම ලංකාවට එවා ඇති බවත් ඒ සඳහා රුපියල් ලක්‍ෂ අටක මුදලක්‌ රේගුවට ගෙවිය යුතු නිසා හැකි ඉක්‌මනින් එම මුදල් එවන ලෙස බැංකු ගිණුම් අංකයක්‌ද ඇයට ලබාදී ඇත.

පැරැණි විදුලි උපකරණ විකුණා ලබාගත් මුදල් සහ තම නිවස සහ ඉඩමද උකස්‌කර ලබාගත් මුදල්ද එකතු කර ඇය අදාළ බැංකු ගිණුමට ලක්‍ෂ 8 ක මුදලක්‌ බැර කර ඇත. ඉන්පසුව මාසයක්‌ පමණ ගත වූ පසුවත් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක්‌ ඇයට දැනගත නොහැකි වී ඇති අතර ඇයට ලබාදී තිබූ එකම දුරකතන අංකයටවත් ඇමතුම් ලබාගත නොහැකි වීම නිසා ඇය විශාල වංචාවකට හසුවී ඇති බව පසුව වටහාගෙන ඇත.

තම අනාගත ඉංජිනේරු පෙම්වතා පිළිබඳ ඇයගේ සිහිනය බොඳ වූවා පමණක්‌ නොව ඇය සතුව තිබූ සියලුම විදුලි උපකරණද, ගෘහ භාණ්‌ඩද, ලක්‍ෂ ගණනක මුදල්ද අහිමි වූ පසුව ඇය අවසානයේ මතුරට පොලිසියේ උපදෙස්‌ පරිදි මහනුවර පොලිසියේ වංචා විමර්ශන අංශයේ පිහිට පැතුවාය.

අන්තර් ජාලයේ පළ කෙරෙන මෙවැනි මංගල දැන්වීම් ඔස්‌සේ දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණියන් රැසක්‌ම වංචනික පුද්ගලයන්ට රැවටී මෙසේ ලක්‍ෂ ගණනින් මුදල් අහිමිකර ගන්නා බව පවසන පොලිසිය දකුණු පළාතේ තරුණියන් රැසක්‌ම මෙවැනි වංචාවලට හසුවී ඇති බවද පවසයි.

 

Rate this item
(0 votes)