May 18, 2024

"මගේ රත්තරන් සටන් කරලා තුවක්‌කුවට බිලි වුණා."

"රත්තරන් වීරයා මාව දාලා යන්න යනවා. අපේ රටේ ගිනි අවි සංස්‌කෘතියට මගේ වීරයා බිලි වුණා. තුවක්‌කුව ඉස්‌සරහත් මගේ වීරයා පස්‌සට ගියේ නෑ. මගේ රත්තරන් සටන් කරලා නිවට බියගුළු මිනිහෙකුගේ තුවක්‌කුවට බිලි වුණා."

ජාඇල නගරයේ පිහිටි රජයේ බැංකුවට තැන්පත් කිරීමට රැගෙන ගිය මුදල් පැහැර ගැනීමට වෙඩි තබා ඝාතනය කළ අයිලෙක්‌ස්‌ පෙරේරා (72) මහතාගේ ආදරණීය බිරිඳ වන එලිසබෙත් පෙරේරා මහත්මිය සිය ස්‌වාමියාගේ මරණයෙන් කම්පිතව සිටියත් මාධ්‍ය ඉදිරියේ නොබියව සිය කතාව කියා සිටියේ ඒ අයුරිනි.

ඉකුත් 28 දා උදෑසන ජාඇල දෙහියගාත ප්‍රදේශයේ සිට බැංකු ගත කිරීමට මුදල් රැගෙන යමින් සිටියදී මංකොල්ලකරුවන් පිරිසකගේ වෙඩි ප්‍රහාරයකට අයිලෙක්‌ස්‌ පෙරේරා මහතා ලක්‌ වූයේ සිය බිරිඳ වන එළිසබෙත් පෙරේරා මහත්මිය ඉදිරිපිටදී මය. ඔවුන් යතුරුපැදියකින් මුදල් රැගෙන යමින් සිටියදී තවත් යතුරුපැදි දෙකකින් පැමිණි මංකොල්ලකරුවන් මෙම අඹු - සැමි යුවළ ගමන් ගත් යතුරුපැදිය නවතා මුදල් පැහැර ගැනීමට උත්සාහ කිරීමේදී උත්සාහය අසාර්ථක වූ තැන මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

වෙඩි ප්‍රහාරයට ලක්‌ව මියගිය අයිලෙක්‌ස්‌ පෙරේරා මහතා හිටපු නාවික හමුදාවේ නිලධාරියෙකි. වසර 12 ක්‌ පමණ නාවික හමුදා සේවයෙන් පසු විශ්‍රාම ලබා මොහු තමන්ගේම ව්‍යාපාරික කටයුතු ආරම්භ කර ඇත. නාවික හමුදාවේ සිටියදී ඔහු එහි රගර් කණ්‌ඩායමේ දක්‌ෂ ක්‍රීඩකයකුව සිට ඇත. තවද ඔහු නාවික හමුදාව නියෝජනය කරමින් රගර් කණ්‌ඩායමට නායකත්වය ද ලබා තිබේ. වෙඩි පහරට ලක්‌ව මිය යනතුරුම ඔහුගේ එම ජවය නොඅඩුව තිබිණි. 

"එයා මිය ගියේ වීරයෙක්‌ විදිහට. එයා තුවක්‌කු දැකලා පලා ගියේ නෑ. අපි යනකොට බයිසිකලයක්‌ ඇවිත් අපි යන මඟ හරස්‌ කරලා නතර කෙරුවා. ඊට පස්‌සේ එක්‌ තරුණයෙක්‌ ඇවිත් පිස්‌තෝලයක්‌ පෙන්නලා තියෙන සල්ලි දෙන්න කිව්වා. එක පාරටම මහත්තයා මාව පිටුපස්‌සට තල්ලු කරලා එයා ඇහැව්වා "කොහේ තියෙන සල්ලිද කියලා. ඒ එක්‌කම එයා තුවක්‌කුව එල්ල කරගෙන හිටපු කෙනාගේ අතට පාරක්‌ ගැහැව්වා. හිතුවේ තුවක්‌කුව බිම වැටෙයි කියලා. නමුත් තුවක්‌කුව පත්තුවෙලා උදරය උඩ කොටසට වෙඩි වැදුණා. ඒත් එයා බිම වැටුණේ නෑ. නැවත පහර දෙන්න උත්සාහ කෙරුවා. එතකොට උන් තිබ්බ වෙඩිල්ල අතට වැදුණා. මට කෑ ගැහුණ ද මොනවා වුණාද කියලා හිතාගන්න බෑ. උන්ගේ වෙඩි පහර වැදුණේ නැත්නම් මගේ වීරයාට ඒ හතරදෙනා බිම දාන එක එතරම් අපහසු නෑ. නමුත් උන් නිවටයෝ විදිහට වෙඩි තිබ්බා. මගේ වීරයා සටන් කරපු විදිහ සී. සී. ටී. වී. කැමරාවල පටිගත වෙලා තියෙනවා. ඒකෙන් බලන්න පුළුවන් එයා මොන තරම් එඩිතර කෙනෙක්‌ ද කියලා" යනුවෙන් පෙරේරා මහත්මිය තව දුරටත් පැවසීය.

මියගිය අයගේ පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණය 29 දා රාගම වෛද්‍ය විද්‍යාල අධිකරණ වෛද්‍ය නිලධාරිනී ඩබ්ලිව්. එන්. එස්‌. පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ඝාතනය වූ අයිලෙක්‌ස්‌ පෙරේරා මහතාගේ අවසන් කටයුතු ජුලි මස 31 දින දෙහියගාත රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

(දිවයින)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 30 July 2014 11:47