May 05, 2024

බස්රථවල රූපවාහිනි යන්ත‍්‍ර ඉවතට

පෞද්ගලික බස්රථ වල සවිකර ඇති රූපවාහිනි යන්ත‍්‍රවලින් ප‍්‍රචාරය වන වැඩසටහන් අධීක්‍ෂණය කිරීමේ වැඩපිළිවෙලක් පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ. 

මේ සම්බන්ධයෙන් මගීන්ගෙන් ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බව පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පැවසී ය.

පෞද්ගලික බස්රථ වල සවිකොට ඇති රූපවාහිනි යන්ත‍්‍ර මගින් ප‍්‍රචාරය වන ඇතැම් වැඩසටහන් සදාචාරාත්මකභාවයෙන් තොර බවටත්, ඒවා අධික ශබ්දයෙන් ප‍්‍රචාරය කෙරෙන බවටත්, ඇතැම් දැන්වීම් ප‍්‍රචාරයට නුසුදුසු තත්වයක පවතින බවටත් මගීන්ගෙන් පැමිණිලි ලැබී ඇත. 

පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වු පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශය පිළිබද උපදේශක කාරක සභාවේදීද මේ සම්බන්ධව සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.

සදාචාරාත්මකභාවයෙන් තොර වැඩසටහන් ප‍්‍රචාරය වීම සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අවධානය ලක් කොට ආරක්‍ෂක අමාත්‍යාංශය, පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා පළාත් ප‍්‍රවාහන අධිකාරීන් සමග එක්ව වැටලීම් සිදුකිරීමට කි‍්‍රයාකරන අතර ඒ අනුව සදාචාරාත්මකභාවයෙන් තොර වැඩසටහන් ප‍්‍රචාරය වන බස්රථවලින් එම රූපවාහිනි යන්ත‍්‍ර ඉවත් කිරීම සිදුකෙරෙනු ඇත.

සදාචාරාත්මකභාවයෙන් තොරව ප‍්‍රචාරය වන වැඩසටහන් සම්බන්ධයෙන් වන පැමිණිලි 071 655 0000 දුරකතන අංකයට දැනුම්දෙන ලෙස අමාත්‍යවරයා මගීන්ගෙන් ඉල්ලා සිටියි.

 

Rate this item
(0 votes)