May 04, 2024

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරුට මරණ තර්ජන

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතාගේ ජංගම දුරකථනයට අංකය කතා කළ අයකු ඔහු මරා දමන බවට තර්ජනය කළ බව එම ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.ජනමාධ්‍ය පුහුණුවක් පිණිස කොළඹ පැමිණෙමින් සිටි  යාපනයේ දෙමළ ජනමාධ්‍යවේදීන් කණ්ඩායමකට අතර මගදී ආරක්ෂක අංශ විසින් බාධා කිරීමත් පසුව දාමරික පිරිසක් විසින් එම වැඩමුළුව පැවැත්වීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් තමන් විරෝධය පලකරන බවද එහි සඳහන් වෙයි.

ඔවුන් විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

ජූලි 26වන දින ඒ9 මාර්ගය ඔස්සේ කොළඹ බලා පැමිණෙමින් සිටි එම ජනමාධ්‍යවේදී කණ්ඩායම දෙවරක් සෝදිසි කළ ආරක්ෂක හමුදා පිරිස් දෙවැනි වතාවේ දී අභූත චෝදනා මත ඔවුන් අත් අඩංඟුවට ගත්හ.පසුව මුදා හරින ලද යාපන ජනමාධ්‍යවේදී කණ්ඩායම වැඩමුළුව පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයට පැමිණිමට පෙරම එහි පැමිණි  දාමරික පිරිසක් වැඩමුළුව නතර කරන සේ එහි ආරක්ෂක නිලධාරියාට  ලිපියක් බාරදී එසේ නොකළහොත් පහර දීමට වන බවට තර්ජනය කළහ.

මෙම දාමරික පිරිස කෙටි විරෝධතාවයක් පවත්වමින් කියා සිටියේ ලංකාවේ කිසිම තැනක මෙවැනි වැඩමුළු පැවැත්වීමට තමන් ඉඩ නොදෙන බවයි‍. සහමුළින්ම නීති විරෝධී මෙම සාහසික ක්‍රියාව හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ශ්‍රී ලංකාණ්ඩුවෙන් විමසා සිටින්නේ මෙරට ජනමාධ්‍යවේදීන්ගේ අයිතීන් මර්දනය කිරීමට මෙම දාමරිකයින්ට බලය පවරා ඇත්තේ කවරකු විසින් ද යන්න යි. 

මෙරට දෙමළ ජනමාධ්‍යවේදීන්ට දිගින් දිගටම එල් වන මෙම බාධා සහ හිරිහැර කිරීම් විසින්  පෙන්නුම් කරනුයේ වත්මන් ශ්‍රී ලංකාවෙහි දෙමළ කතා කරන ජනයා මුහුණ දෙන විෂම සැළකිම බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අදහස් කරයි. 

මෙම සිදුවීම් හෙළා දකිමින් සත්‍ය හෙළි කිරීම පිණිස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය 26 දින  මාධ්‍ය සාකච්ඡාවක්  කැඳවන ලදී. එම මාධ්‍ය සාකච්ජාව පැවැත්වීමට පැයකට පෙර  කැදවුම්කරු සුනිල් ජයසේකර මහතාගේ ජංගම දුරකථනයට අංකය සැඟ වූ දුරකථනයකින් කතා කළ අයකු ජිවිත ආසාවක් ඇතොත් පුවත් පත් සාකච්ඡාව ‍‍නොපවත්වන ලෙසත් එය පැවැත්වුව හොත් ඔහු මරා දමන බවටත්  තර්ජනය කළේය.  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම මරණ තර්ජනය නොබියව හෙළා දකියි. 

පුවත්පත් සාකච්ඡාවෙහි දි සුනිල් ජයසේකර මහතා තමා මරණ තර්ජනයන්ට මුහුණ දීමට සූදානම් බව ප්‍රකාශ කරන ලදී. ඉන් පසු එදින රාත්‍රිය දක්වා අංකය දැක ගත හැකි දුරකථන අංක සහිත දුරකථන ගණනාවකින් හත් වතාවක් ඔහු වෙත තවත් මරණ තර්ජන කරන ලදී. එම අංක නිදහස් මාධ්‍ය ව්‍යපාරය සතුව තිබේ.  දිගින් දිගටම එල්ල වන මෙම මරණ තර්ජන හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනමාධ්‍ය නිදහසට එල්ල වන මෙම බිය ජනක තර්ජන පරාජය කිරීමට පෙ‍ළ ගැසෙන සේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ගෙන් ඉල්ලා සිටී. 

Rate this item
(0 votes)