May 01, 2024

හෝමාගම සභාපති "ගෙදර" - හිටපු සභාපති "යළි පුටුවට"

හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළ ඉන්දික කෝරලගේ මහතාට යළි සභාපති ධුරයේ කටයුතු කිරීම සඳහා අවසර ලබාදෙමින් අභියාචනාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (25) නියෝගයක් නිකුත් කළේය.

මෙම නියෝගය නිකුත් කළේ හිටපු සභාපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදීයි. 

හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ අයවැය දෙවරක් පරාජයට පත්වීම හේතුවෙන් එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ.ඩී. කුමාරසිරි මහතාට මීට මාස ගණනාවකට පෙර එම ධුරය අහිමි විය. 

පසුව පසුගිය අපේ‍්‍රල් මස 08 වැනිදා මැතිවරණ කොමසාරිස්වරයා විසින් හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ඒ වනවිට එහි වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කළ ඉන්දික කෝරලගේ නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර එහෙත් පසුව නැවතත් මැතිවරණ කොමසාරිස්වරයා හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස රුවන් පුබුදු පීරිස් මහතා නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර කළේය.

එම ගැසට් නිවේදනයෙන් තමන්ට අසාධාරණයක් වූ බව පවසමින් සභාපතිවරයා ලෙස කටයුතු කළ ඉන්දික කෝරලගේ මහතා විසින් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළේය.

එම නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 17 වැනිදා දක්වා කල් තැබූ විනිසුරුවරයා නඩුව විභාග වනතුරු හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වූ ඉන්දික කෝරලගේ මහතාට වත්මන් සභාපති ධුරයේ කටයුතු කිරීම සඳහා අවසර ලබා දී තිබේ.

Rate this item
(0 votes)