May 01, 2024

ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් අනාථයි 

ඔස්ට්‍රේලියාව ආසන්නයේ ජාත්‍යන්තර මුහුදේ නෞකාවක රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු සංක්‍රමණිකයන් පිරිස ඔස්ට්‍රේලියාවට රැගෙන ඒමට බලධාරීන්ට සිදු වූයේ ඉන්දියාව ඔවුන් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බව මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති.

නෞකාවේ සිටින සංක්‍රමණිකයන් 157 දෙනා ගොඩබිමට රැගෙන විත් රඳවා ගන්නා බව ඉන්දියාවේ සංචාරයකින් අනතුරුව සංක්‍රමණික කටයුතු භාර අමාත්‍ය ස්කොට් මොරිසන් පසුගිය සිකුරාදා නිවේදනය කළේය.

හෙට (26) රාත්‍රිය වනවිට සංක්‍රමණිකයන් සියලු දෙනාම රැඳවුම් කඳවුරකට රැගෙන එනු ඇතැයි අපේක්ෂා කරන බව අනාථයන් සඳහා වූ ක්‍රියාකාරී සන්ධානයේ ඉයන් රින්ටූල් මහතා පැවසූ බව බීබීසී ප්‍රවෘත්ති සේවය පවසයි.

"ආණ්ඩුව මේ දේශපාලන රැකවරණ පතන්නන් පිරිස ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවට අරගෙන රඳවා ගැනීමේදී නීත්‍යානුකූලව ක්‍රියා කළේද යන්න ගැන කරුණු ගණනාවක් විමසන්න තිබෙන බව මහාධිකරණය කිව්වා." යනුවෙන් ඉයන් රින්ටූල් මහතා පැවසීය.

නෞකාවේ සිටින දේශපාලන රැකවරණ පතන්නගේ අනන්‍යතාවය පරීක්ෂා කිරීමට ඉන්දීය තානාපති නිලධාරීන්ට අවසර දෙන බවත් එහි ඉන්දීය පුරවැසියන් සිටින්නේ නම් ඔවුන් ඉන්දියාවට භාරදීමට කටයුතු කිරීමට ඉඩ තිබෙන බවත් අමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පැවසීය.

ඉන්දියාව ඉන්දීය පුරවැසියන් නොවන අයත් භාර ගැනීමට ඉඩ තිබෙන නමුත් කණ්ඩායමේ කිසිවෙකුට ඕස්ට්‍රේලියාවේ පදිංචිවීමට අවසර නොදෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

කෙසේවෙතත් ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට සිය දැඩි ස්ථාවරයෙන් පසුබෑමට සිදු වී ඇති හැඩක් පැහැදිලිවම දක්නට ලැබෙන බව ඉයන් රින්ටූල් සඳහන් කර තිබේ.

"අනෙක් හේතුව තමයි ඉන්දියාවේ ආණ්ඩුව ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුවවට අවශ්‍ය වුන දේ ලබා නොදීම. ඕස්ට්‍රේලියාවට අවශ්‍ය වුනේ මේ බෝට්ටුව ආයෙත් ඉන්දියාවට යවන්න. ඒත් ඉන්දියාව ඔවුන් භාර ගන්න එකඟ නොවුන බව පැහැදිලියි," යැයි මානව හිමිකම් ක්‍රියාධරයා පෙන්වා දේ.

 

Rate this item
(0 votes)