May 17, 2024

බි‍්‍රක්ස් සංවර්ධන බැංකුවට ඇතුල් වෙන්න ලංකාවත් සූදානම්

නව සංවර්ධන බැංකුවක් ස්ථාපනය කිරීම සඳහා බි‍්‍රක්ස් හවුලේ නායකයින් මුල පිරීම ශ‍්‍රී ලංකාව අගය කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එය සංවර්ධනය වන ජාතීන්ට ඉමහත් රුකුලක් බව ජනාධිපතිවරයා පවසයි.

සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය ලබාදීමේ අරමුණින් මෙවැනි බැංකුවක් ස්ථාපිත කිරීමට බ‍්‍රසීලයේ පසුගියදා පැවති බි‍්‍රක්ස් රාජ්‍ය නායක සමුළුවේදී තීරණය කළ අතර රුසියාව, චීනය, ඉන්දියාව, බ‍්‍රසීලය සහ දකුණු අප‍්‍රිකාව බි‍්‍රක්ස් හවුලට අයත් රටවල් වේ.

බි‍්‍රක්ස් සංවර්ධන බැංකුව ලෙස නම් කර ඇති මෙම නව බැංකුව  අමෙරිකානු ඩොලර් බිලියන 100 ක වත්කමක් ඇතිව සිය කටයුතු ආරම්භ කිරීමට නියමිතය. චීනයේ ෂැංහයි නුවර බි‍්‍රක්ස් සංවර්ධන බැංකුවේ මූලස්ථානය ඉදිකිරීමට නියමිත බවත් මෙම බැංකුවේ පළමු අධිපතිවරයා වන්නේ ඉන්දීය ජාතිකයෙක් වන බවත් වාර්තා වෙයි. 

ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්පයක් ලෙස පිහිටුවා ඇති මෙම බැංකුවේ කටයුතුවලට ශ‍්‍රී ලංකාවද සම්බන්ධවීමට සූදානම් බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කරයි. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 July 2014 08:27