May 17, 2024

නාවික සෙබලෙකු තවත් දැරියකට හදි කරලා

යාපනයේ කාරෙයිනගර් ඌරි පළාතේදී 11 හැවිරිදි පාසල් දැරියක් නාවික හමුදවේ සෙබලෙකු විසින් දූෂණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ සිදුකරමින් සිටින අතරතුර තවත් නවහැවිරිදි දැරියක් නාවික හමුදා සෙබලෙකු අතින් දූෂණයට ලක් වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි යාපනයේ කයිට්ස් පොලීසිය පවසයි. 

එම දැරිය කළින් දූෂණය වූ බව කියන දැරියගේ ඥාති සොහොයුරියක බවත් ඇය සදුදා කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කළ බවත් පොලීසිය පැවසීය.

එම දැරිය දූෂණයට ලක්වී ඇති බවට මෙතෙක් වෛද්‍ය වාර්තාවක් මගින් හෙළිදරව් වී නොමැති බවත් යාපනය ළමාඅධිකරණයේ විනිසුරුවරයා වයස නවයක දැරියට යමක් නිවැරදිව ප්‍රකාශ කිරීමට ඇති හැකියාව අඩු බැවින් පොලිස් නිලධාරීන්ට සහ පිස්කල් නිලධාරීන්ට දැරිය පෙන්වන ස්ථාන වෙත ගොස් සවිස්තර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන මෙන් නියෝග කොට ඇත. 

අධිකරණය තීරණය කොට ඇත්තේ එම වාර්තාව ලැබුණු පසුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ආරම්භ කිරීමට වන අතර මීට කළින් 11 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කළ නාවික හමුදා සෙබලා අත් අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත්තේ එම දැරිය ඔහුගේ හැඩරුව පමණක් ප්‍රකාශ කිරීම නිසා එවැනි තත්ත්වයක් උද්ගත වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය. 

එම සිද්ධියට සම්බන්ධයැයි සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ නාවික හමුදා සෙබලුන් හත් දෙනෙකු ඇපමත නිදහස් කරන මෙන් යාපනය දිසා විනිසුරුවරයා නියෝග කළ නමුත් ඔවුන් වෙනුවෙන් ඇප ඉදිරිපත් කිරීමට යම් ප්‍රමාදයක් උද්ගත වූ බැවින් ඔවුන් රිමාන්ඩ් භාරයේ තැබීමට විනිසුරුවරයා නියෝග කළේ යැයිද අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

 

Rate this item
(0 votes)