May 17, 2024

පොලිසියේ ඉහළ පුටු වෙනසක්

පොලිසියේ ඉහළ පුටු රැසක වෙනසක් ලඟදීම සිදුවීමට නියමිත බව පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.

ඒ අනුව උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහයක සේවා භාර පොලිස් ප‍්‍රධානියා ලෙස පොලිස් මූලස්ථානයට කැදවීමට නියමිතය. පූජිත් ජයසුන්දර මහතාගේ ස්ථාන මාරුවෙන් පුරප්පාඩුවන උතුරු පළාත් පොලිස් ප‍්‍රධානියා ලෙස ඌව සහ සබරගමුව පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා පත් කිරීමට නියමිතව ඇත. 

ලලිත් ජයසිංහ මහතාගේ ස්ථාන මාරුවෙන් පුරප්පාඩුවන ඌව සහ සබරගමුව පළාත් භාර පොලිස් ප‍්‍රධානී තනතුරට පත්කිරීමට යෝජනා වී ඇත්තේ වයඹ පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතා බව එම තොරතුරු අනාවරණ වී ඇත. 

ඒ සමගම වයඹ පළාත්භාර පොලිස් ප‍්‍රධානියා ලෙස උතුරු මැද පළාත්භාර පොලිස් ප‍්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාව පළාත් දෙකේම පොලිස් ප‍්‍රධානියා ලෙස පත් කිරීමට නියමිතව තිබේ.

මෙම ස්ථාන මාරුවීම් වලට මේ වනවිටත්  පොලිස් මූලස්ථානය බලධාරීන්ගේ අනුමැතිය ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කළේය.

මෙහිදී එක් නිළධාරියෙක් පමණක් මෙම ස්ථාන මාරුවීම්වලට එතරම් කැමැත්තක් දක්වා නොමැති අතර ඔහු මධ්‍යම පළාතට ස්ථානමාරුවීම බලාපොරොතුවෙන් සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

මේ වනවිට පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයක් පුරප්පාඩුව පවතින අතර ඊට සුදුසුකම් ලද නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සිටියදී ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ නිළධාරියෙකුට ලබාදීමට ඇති සැළසුමක් හේතුවෙන් එම පුරප්පාඩුව වසරකට ආසන්න කාලයක් තිස්සේ පුරප්පාඩුවක්ව පවතින බවද පොලිස් මූලස්ථාන තොරතුරුවලින් වැඩිදුරටත් අනාවරණ වී තිබේ.

Rate this item
(1 Vote)