May 17, 2024

මැලේසියානු ගුවන් සමාගම කඩා වැටෙයි?

යුක්රේන දේශසීමාවට කඩා වැටුණු  MH17 ගුවන්යානා අනතුරින් පසු මැලේසියානු ගුවන් සේවයේ කොටස් අගය සියයට 11 කින් පහළ වැටී ඇති බව වාර්තා වෙයි. 

MH17 ගුවන්යානයේ මළගම මැලේසියානු ගුවන් සේවයේද මළගම විය හැකි බවට මත පළ වන්නේ එම සමාගම මේ වසර තුළ මුහුණ දුන් දෙවැනි මහා ඛේදවාචකය මෙම අනතුර වීම නිසාය. මීට පෙර, පසුගිය මාර්තු මාසයේදී මැලේසියානු ගුවන් සේවයටම අයත් MH370 යානය දකුණුදිග ඉන්දීය සාගර කලාපයේදී පුද්ගලයන් 239 දෙනෙකු අතුරුදන් වූ අතර, එම යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් මේ වනතෙක් සොයාගැනීමට අපොහොසත් වී තිබේ.

ඒ අනුව, මේ වනවිටත් දැවැන්ත මූල්‍ය අර්බුද රැසකට මුහුණදෙමින් සිටි මැලේසියානු ගුවන් සේවයට මෙම අලුත්ම ව්‍යසනයත් සමග තවදුරටත් සිය ව්‍යාපාරයේ රැඳී සිටීමට හැකියාවක් පවතින්නේද යන්න ප්‍රශ්ණයක් වී ඇති බව වාර්තා වෙයි.

පසුගිය මාස 9ක කාලය තුළ පමණක් ගුවන් සේවයේ වෙළෙඳපොළ වටිනාකම තවදුරටත් සියයට 40කින් පහළ යෑමද සුළු පටු කාරණයක් නොවන අතර මෙම මහා ව්‍යසනයන් සමග ගුවන් සේවය ආරක්ෂා කරගැනීමට නම් කෙටි කාලීනව තවදුරටත් ආයෝජන අවශ්‍යව ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

නමුත්, එහි අනෙක් ගැටලුව වන්නේ කෙටි කාලීන ආයෝජනයන් සමග ගුවන් සේවය යළි ගොඩගැනීමට පියවර ගත්තද, දිගුකාලීනව ඊට රැඳී සිටීමට හැකිවේද යන්නයි.

පසුගිය මාර්තු මාසයේ අතුරුදන් වූ යානය මෙන්ම, මෙම යානය යුද කලාපයක් ඉහළින් ගමන් කිරීම වැනි උභතෝකෝටිකයන් හමුවේ මගීන් තම සංචාරයන් වෙනුවෙන් ඉදිරියටත් මැලේසියානු ගුවන් සන්නාමය තෝරා ගනීවිද යන්න ප්‍රශ්ණයකි.

Rate this item
(0 votes)