May 02, 2024

බලෙන් නිවසට ඇවිත් කතගේ කොන්ඩය කපා පැන ගිහින්

බලහත්කාරයෙන් නිවසකට කඩා වැදී කාන්තාවකගේ කොන්ඩය කපා දමා පලා ගිය සිව් දෙනෙකුව අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පුත්තලම පොලීසිය පවසයි.

19 වැනිදා පස්වරුවේ මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ පුත්තලම - වෙට්ටාලේ, කුරුසවාඩිය පදිංචිකාරියක වන එච්.ඒ.ධම්මිකා ජයන්ති (අවු:45) නම්වූ කාන්තාවකි.

යතුරුපැදි දෙකකින් පැමිණි සිව් දෙනෙකු තමන්ට තර්ජනය කර කොන්ඩය කපා පලා ගිය බව සිද්ධියට මුහුණ දුන් කාන්තාව පොලීසියට පවසා ඇත.

සිද්ධියට මුහුණ දී ඇති කාන්තාවගේ ස්වාමි පුරුෂයා පුත්තලම ලුණු ලේවායේ කම්කරුවෙකු ලෙස සේවය කරන අතර එම ආයතනයට කම්කරුවන් සපය අයෙකු බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

මේ දිනවල මුස්ලිම් බැතිමතුන් රාමලාන් උපවාසය සමරන බැවින් පුත්තලම ලුණු ලේවායේ සේවය සදහා කම්කරුවන්ගේ පැමිණීම අඩුවී තිබේ. එම නිසා මෙම අය කල්පිටිය ප්‍රදේශයෙන් කම්කරුවන් පිරිසක් කැදවාගෙන විත් ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.

පුත්තලම ලුණු ලේවායට කම්කරුවන් සපයන තවත් අයෙකු පිටස්තර ප්‍රදේශ වලින් කම්කරුවන් ගෙන එනවාට විරුද්ධව සිට ඇති බවත්, මෙම සිද්ධිය ඊට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලීසිය කියයි. තම කොන්ඩය කපා දැමුවේ කව්රුන්ද යන්න සිද්ධියට මුහුණ දුන් කාන්තාව හදුනාගෙන නොමැති අතර සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. 

පුත්තලම - ජුඩ් සමන්ත 

 

Rate this item
(0 votes)