May 17, 2024

වෛද්‍යවරයාගේ අමුතු හැසිරීමෙන් තුවාල වූ සිසුවා එලියට දමලා

හිසට සිදු වූ තුවාලකට බෙහෙත් දැමීම සඳහා දෙනියාය මූලික රෝහලට රැගෙන ගිය සිසුවකුට බෙහෙත් නොදා පස්වරු 1.10 සිට පස්වරු 4.00 වන තුරු රැඳී සිටින ලෙස රෝහලේ වෛද්‍යවරයකු පවසා ඇතැයි වාර්තා වෙයි. 

දෙනියාය මධ්‍ය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන තීක්‍ෂණ දෙනෙත් නමැති නව හැවිරිදි සිසුවා පාසලේ දී ඇද වැටී හිස තුවාල වී බෙහෙත් දැමීමට රෝහලට රැගෙන ගිය අවස්‌ථාවේ මෙම සිද්ධිය ඇති වී තිබේ.

තම නැගණියගේ දරුවා වැටී හිස තුවාල වී ඇති බවට පාසලේ ආරක්‌ෂක අංශයෙන් දන්වා තිබී පසු පැමිණ දරුවා රැගෙන බෙහෙත් දැමීමට දෙනියාය නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානයකට ගොස්‌ ඇති බවත් එහිදී තුවාලයට මැහුම් දැමිය යුතු නිසා රෝහලට රැගෙන යන ලෙස පවසා ඇති බවත් චන්ද්‍රිකා මහත්මිය පවසන්නීය.

ඒ අනුව දරුවා රැගෙන රෝහලට ගිය අවස්‌ථාවේ වෛද්‍යවරයකු නොසිටි නිසා වෛද්‍යවරයකු පැමිණෙන තෙක්‌ පැයක්‌ පමණ සිට ඇත. පසුව වෛද්‍යවරයකු පැමිණ මේ අයගෙන් පැමිණ කොපමණ වේලාවක්‌ද යන්න අසා ඇති අතර පැයක්‌ පමණ වන බව ඇය පවසා තිබේ. ඒ අවස්‌ථාවේ වෛද්‍යවරයා රෝහලේ ආරක්‌ෂක නිලධාරියාගෙන්ද පැමිණ කොපමණ වේලාවක්‌ද යන්න අසා ඇත. එවිට ඔහු විනාඩි 40 ක්‌ පමණ වන බව පවසා තිබේ. 

මේ වෙලාවේ කෝපවූ වෛද්‍යවරයා කාන්තාවට බැන බොරු පැවසූ නිසා බෙහෙත් දැමීමට හවස හතර වෙනකල් සිටින ලෙසට තුණ්‌ඩුවක්‌ ලියා දී ඇත. 

බෙහෙත් දැමීමට සවස හතර වන තුරු සිටීමට නොහැකි නිසා ඇය දරුවා දෙනියාය නගරයට ගෙන විත් පෞද්ගලික ස්‌ථානයකින් තුවාලයට බෙහෙත් දමාගෙන ඇත. මෙම දරුවා රෝහලට රැගෙන යන අවස්‌ථාවේ වෛද්‍යවරුන් රූපවාහිනිය නරඹමින් සිට ඇති බව වාර්තා වෙයි.

 

Rate this item
(2 votes)