May 19, 2024

"මම දරුවන් 04 කට අතවර කළා" - හිමිනම අධිකරණයේ දී පිළි ගනී 

චීවරධාරියෙක් වයස 16 ට අඩු බාල වයසකාර පිරිමි දරුවන් සිව් දෙනෙක් විටින් විට අස්වාභාවික ලිංගික කටයුතු සඳහා යොදා ගත් බවට අද (30) අධිකරණයේ දී පිළිගෙන තිබේ.

බරපතල වැඩ සහිත ව වසර 13 බැගින් වසර 52 ක සිර දඬුවමක් නියම කළ අතර අගතියට පත් දරුවන් සිව් දෙනාට එක් අයෙකුට රුපියල් ලක්ෂ 04 බැගින් රුපියල් ලකෂ 16 වන්දි මුදලක ගෙවීමට හලාවත මහාධිකරණ විනිසුරු එච්එම් අමල් තිලකරත්න මහතා නියෝග කළේ ය.

ගෙවීමට නියම කළ වන්දි මුදල නොගෙවන්නේ නම් එක් අයෙකුට රුපියල් ලක්ෂ 04 ක් සඳහා තවත් වසර 04 බැගින් වසර 16 ක සැහැල්ලු සිර දඬුවම් නියම කරන ලදි.

ඊට අමතර ව රුපියල් 2000 බැගින් රුපියල් 8,000 ක දඩ මුදලක් ද නොගෙවන්නේ නම් මාස 06 බැගින් වසර 02 ක කාලයක් සඳහා සැහැල්ලු සිර දඬුවමක් ද නියම කර තිබේ.

මේ අනුව විත්තිකරු වසර 52 ක කාලයක් බරපතල වැඩ සහිත ව ද දඩ හා වන්දි මුදල් නොගෙවන්නේ නම් වසර 18 ක කාලයකට සැහැල්ලු සිර දඬුවම් ද ගෙවිය යුතු වේ.

මෙසේ දඬුවම් නියම වුයේ මුඟුණුවටවන, සිප්පිකලාන ශ‍්‍රී වජිරාම විහාරස්ථානයේ සිටි ගල්කුලියේ සද්ධානන්ද නොහොත් රණවීර ආරච්චිලාගේ පත්මසිරි නමැති පුද්ලයාට ය.

විත්තිකරු සිවුරු හැර සිටි අතර දඬුවම් පමුණුවන අවස්ථාවේ දී ගිහි ඇඳුමකින් සැර සී අධිකරණය හමුවට පැමිණ සිටියේ ය.

2004 ජනවාරි මස 01 වැනි දිනත් 2004 පෙරවාරි 14 ත් අතර කාල වකවානුවේ දී හලාවත සමාධිකරණ බල සමාවේ මුඟුණුවටවන සිප්පිකලාන ශ‍්‍රී වජිරාරාම විහාරස්ථානයේ දී වයස අවුරුදු 16 ට අඩු බාල වයස්කාර පිරිමි දරුවන් සිව් දෙනෙකු සිය ලිංගික අවශ්‍යතා සඳහා අස්වාභික ව යොදා ගැනීමේ චෝදනා මත විත්තිකරුට එරෙහි චෝදනා වෙන වෙන ම ගොණු කර නඩු 04 ක් පවරා තිබිණි.

මෙම විත්තිකරු බාල වියේ දී සිය පියා අකාලයේ මියයාම හේතුවෙන් එම පවුලේ ආර්ථික අතින් දුර්වලවීම හේතුවෙන් සිය පාසල් අධ්‍යාපනය අතර මග කඩාකප්පල් කර ගෙන කොළඹ නිවසක මෙහෙකාරකමට ගිය බවත් පසු ව අනුරාධපුර ප‍්‍රදේශයේ ස්වාමීන් වහන්සේ නමක් විසින් සිය මවගේ අවසරය මත අනුරාධපුර ප‍්‍රදේශයේ විහාරස්ථානයකට ගෙන ගොස් මහන කළ අතර එම ස්වාමින් වහන්සේගේ අකල් මරණය නිසා තමන්ට පේරාදෙණියේ විහාරස්ථානයට පැමිණි අතර පසු ව විල්පත පන්සලකටත් අනතුරු ව සිප්පිකලාන පන්සලට පැමිණි බවත් විත්තිකරු හලාවත පොලීසිය කර ඇති කට උත්තරයේ සඳහන් කර ඇත.

එම පන්සලේ ගත කරන අතර තමන් මෙම අවක‍්‍රියාවට ඇබ්බැහි වූ බවත් නඩු විභාගය ආරම්භයේ දී තමන් නඟා ඇති චෝදනාවලට වරදකරු යැයි කියමින් වරද පිළිගෙන තිබේ.

රජයේ අධිනීතිඥ කේවී ඉන්දිකා සහ අධිනීතිඥ නටාෂා බර්නාඩ් මහත්මින් පැමිණිල්ල මෙහෙය වූ අතර නීතිඥවරුවන රුවන් ප‍්‍රනාන්දු දේශප‍්‍රිය දිසානායක යන මහත්වරුන් සහ නීතිඥ මනෝරි වික‍්‍රමාරච්චි මහත්මිය විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියහ.

හලාවත - ඔගස්ටින් ප‍්‍රනාන්දු

Rate this item
(0 votes)