May 03, 2024

ජනපතිගේ නම විකුණා මුදල් ගැරූ ‘සක්විත්තෙක්‘ තවම නිදැල්ලේ

ජනාධිපතිවරයාගේ විශේෂ අනුග්‍රහය මත තමන්ට ලැබීමට නියමිත වාහන දෙකක් මිළදී ගැනීම සදහා යැයි පවසා රුපියල් ලක්ෂ 25 ක මුදලක් ලබා ගෙන වංචා කළ බව කියන අඹු - සැමි යුවලක් පිළිබදව තමන් විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පොලීසිය හෝ නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය නිසි පරිදි කටයුතු නොකරන බව මාරවිල - කටුනේරියේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් පවසා තිබේ.

මාරවිල - කටුනේරිය ලංසිගම පදිංචි ඩබ්ලිව්.එස්.නීල් ශ්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියේ මෙසේද සදහන් වේ.

තමන් කටුනේරිය - ලංසිගම ප්‍රදේශයේ යතුරු පැදි මිළට ගෙන අලවි කිරීමේ ව්‍යාපාරයක නිරත වන බවත් 2012 වසරේදී තමන් ගෙන් යතුරු පැදියක් මිළදී ගැනීමට පැමිණි අවස්ථාවේදී මෙම පුද්ගලයා හදුනා ගත් බවත් සදහන් කර ඇත. ඔහු නමින් නීල් ලෙසත් බිරිද රාණි ලෙසත් හදුන්වා දී ඇති අතර තම ව්‍යාපාරික අයතනයට නිතර පැමිණි මෙම යුවල තමන් හා සුහද වූ බවත්, තමන් ජනාධිපතිවයරා මෙන්ම එතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුවද ඉතාමත්ම ළගින් ඇසුරු කරන බවත් පවසා ඊට සාක්ෂි ලෙස විවිධ ඡායාරූපද පෙන්වූ බව පවසා ඇත.

ඒ අතර තමන්ට ඇති රෝගී තත්ත්වයක් සුව කර ගැනීම සදහා උපකාරී වන බව ජනාධිපතිවරයා පැවසූ බවත් ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන කීපයක් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මිළදී ගෙන නැවත අලවි කර රෝගී තත්ත්වයට ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ජනාධිපතිවරයා පැවසූ බව මෙම පුද්ගලයා ව්‍යාපාරිකයාට පවසා ඇත. අදාල වාහන කීපයක ඡායාරූපද තමන්ට පෙන්වූ එම පුද්ගලයා මෙම කටයුත්තට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු මගින් තමන්ට කථා කරමින් විශ්වාසය දිගැනීමට කටයුතු කළ බවද සිද්ධියට මුහුණ දුන් ව්‍යාපාරිකයා කියා සිටී.

ඒ අනුව අදාල වාහන ලබා ගැනීම සදහා 2013  ජුනි මස 27  වැනි දින නියමිත මුදල වන රුපියල් ලක්ෂ 25 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ගෙවීමට අවශ්‍ය බවද පවසා ඇත. ඒ වන විට සිදුවී ඇති ක්‍රියාදාමයන්ගෙන් විශ්වාසය තහවුරු වී තිබීම හේතුවෙන් කටුනේරියේ පදිංචි ව්‍යාපාරිකයා විසින් රුපියල් ලක්ෂ 10 ක චෙක්පතක් සහ මුදලින් රුපියල් ලක්ෂ 15 ක මුදල ඔහුට ලබා දී ඇත. ඉන් දින දෙකක කාලයකින් පසුව ඔහු අතුරුදහන්වී ඇත.

ඒ වනවිට එම පුද්ගලයා පදිංචි වී සිට ඇත්තේ වෙන්නප්පුව - නයිනමඩම ප්‍රදේශයේ නිවසකය. එම නිවස තමන්ගේ බවට ඔහු පවසා ඇති නමුත් සත්‍ය ලෙසම ඔහු පදිංචිව සිට ඇත්තේ කුලී පදනම මත පසුව හෙලිවුයේ යැයි ද සිද්ධියට මුහුණ දුන් ව්‍යාපාරිකයා ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියේ සදහන් වේ.

තමන් මුහුණ දුන් තත්ත්වය සම්බන්ධයෙන් 2013 ජුලි මස 07 වැනි දින මුලින්ම හලාවත කොට්ඨාශ වංචා විමර්ශණ අංශයට පැමිණිලි කළ බවත් පවසන නීල් ශ්‍රියන්ත මහතා ඉන් පසුව පුත්තලම දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට මෙන්ම වයඹ පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාටද පැමිණිලි කළ බව සදහන් කරයි.

අනතුරුව පොලිස්පති සහන මැදිරියට මෙන්ම නීතිය හා සාමාය පිළිබද අමාත්‍යාංශයේ ලේකම්වරයාටද මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට වංචාවට හසුවූ ව්‍යාපාරිකයා කටයුතු කර ඇත. පොලීසිය වෙත කරන ලද පැමිණිලි වලින් ප්‍රයෝජනයක් නොවුණු නමුත් නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත කරන ලද පැමිණිල්ලට අනුව අදාල වංචාකරුගේ බිරිදව එම අමාත්‍යාංශයට ගෙන්වා ඇත. ඒ අනුව නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයට පැමිණ ඇති ඇය  2014 ජනවාරි මස 23 වැනිදා ප්‍රකාශයක් පවා ලබා දී ඇති බව තමන්ට දැන ගන්නට ඇති බවත්, එහිදී ඇය තමන් විසින් රුපියල් ලක්ෂ 10 ක චෙක්පත මාරු කළ බවත්, ඉතිරි රුපියල් ලක්ෂ 15 ක මුදල සැමියා වන පාලිත සතුව ගත් බවත් පවසා ඇත. තවද මේ සම්බන්දයෙන් ක්‍රියාත්මක වීම සදහා ජනවාරි මස 29 වැනිදා  ස්වාමි පුරුෂයාව කැදවාගෙන නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයට පැමිණෙන බවට පොරොන්දු වී ඇති නමුත් ඉන් පසුව මේ සම්බන්දයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් හෝ ප්‍රතිචාරයක් සිදුවී නැති බවද කියා සිටී.

අප රටට එල්ලවී තිබූ යුධ මත තත්ත්වය පහ කරන්නට කැප වූ ජනාධිපතිවරයාගේ නාමය සහ එතුමන්ගේ ලේකම්වරුන්ගේ නාමය අලවි කරමින් මේ ආකාරයට සිදු කරන ජාවාරම් මැඩ පැවැත්වීමට හෝ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය හෝ නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය කටයුතු නොකරන්නේ මන්ද යන්න නීල් ශ්‍රියන්ත මහතා විමසා සිටී.

ඉදිරියටත් මෙවැනි වංචා රටපුරා සිදුවීමට ඉඩ ඇති බැවින් ඊට පෙර මේ සම්බන්ධයෙන් කටයුතු කර තමන්ට මෙන්ම ජනාධිපතිවරයාගේ නාමයටද ද සාධාරණයක් ඉටු කර දෙන ලෙස නීල් ශ්‍රියන්ත මහතා ජනාධිපතිවරයා වෙත යවා ඇති ලිපියේ සදහන් වේ. 

පුත්තලම - ජුඩ් සමන්ත 

 

Rate this item
(1 Vote)