April 28, 2024

පොලිස් රෝහලෙන් කෝටි 2ක බෙහෙත් සොරාගෙන

පසුගියදා නාරාහේන්පිට පොලිස් රෝහලේ සිදුවූ ඖෂධ සොරකම සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම රෝහලේ සේවකයා එහි ඖෂධ ගබඩාවෙන් රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් ඖෂධ සොරකම් කර ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි රහස් පොලීසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දී තිබේ.

මෙම සැකකරු රුපියල් කෝටියකට අධික මුදලක් වැයකර තම පෙම්වතියට නිවසක් තනා දී ඇති අතර තම 50 වැනි ජන්ම දිනය වෙනුවෙන් කොළඹ සුපිරි හෝටලයක දී සාදයක් පවත්වා ඇති බවට ද කරුණු හෙළි වී ඇතැයි රහස් පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.

එමෙන්ම මෙම ඖෂධ සොරකමට සහ ඒ පිළිබඳ තොරතුරු වසන් කිරීමට නාරාහේන්පිට පොලිස් රෝහලේ පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකුම සම්බන්ධ වී ඇති බව සාක්ෂිවලින් අනාවරණය වූ බව සඳහන් කරන රහස් පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවද කියාසිටියේය.

නාරාහේන්පිට පොලිස් රෝහලේ දී රුපියල් ලක්ෂ 06කට අධික වටිනාකමින් යුත් ඖෂධ තොගයක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව පැවති මහේස්ත්‍රාත් පරීක්ෂණය යළි අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය අදාළ සැකකරු ලබන 12 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කර නඩු විභාගය එදිනට කල් තැබීය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 06 August 2016 09:30