July 05, 2024

අරණායක මියගිය අයගේ අවසන් කටයුතු අද

අරණායක ප්‍රදේශයේ සිදු වූ නායයාමෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු අද (20) දින මිහිදන් කිරීමට නියමිතය.

ඒ අනුව හත්ගම්පොල ක්‍රීඩාංගණයේ දී ආගමික වතාවත් සිදුකිරීමෙන් පසු හත්ගම්පල පොදු සුසාන භූමියේ දී සමූහ වශයෙන් මිහිදන් කිරිම සිදු වන බව වාර්තා වේ.

මේ වන විට සාමසර කන්ද නායයාම සහ අවදානම් සහිත කලාපවල ජනතාව 2000ට අධික පිරිසක් නේවාසික කඳවුරුවල රැදී සිටී.

අම්බලකන්ද, උඩගම ප්‍රදේශයේ නිවාස 10ක් පමණ නායයාමට ලක්ව ඇති අතර මාර්ගයෙන් මිටර් 300ක පමණ ප්‍රදේශයක් ද කැඩී ගොස් ඇති බව වාර්තා වේ.

අරණායක සැලව කන්දේ නායයෑම් අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් පවුල් 30කට අයත් පිරිස් රහල බටහිර බෝධිරුක්කාරාමයේ ලැගුම් ගෙන සිටින අතර මාවනැල්ල ප්‍රදේශයේ නැයයෑම් අවදානම හේතුවෙන් පවුල් 291ක් පමණ මේ වන විට ඉවත් කර තිබේ.

දුණුගම, මාලියද්ද, දොඩන්තලේ, වරකාවල, බගවත්ගම, පුහුල්හේන සහ ඉහළකෝට්ටේ යන ප්‍රදේශවල ජනතාව මීට අයත්වන බව වාර්තා වේ.

මේ අතර නායයෑම් ප්‍රදේශ නැරඹීම සදහා විශාල පිරිසක් පැමිණිම හේතුවෙන් සහන සේවාවලට බාධා එල්ල වි ඇති බව පොලීසිය පවසයි.

සාමසර කන්දට පිවිසෙන ගැවිලිපිටිය නගරයේ මාර්ග බාධක යොදා තිබුණ ද ජනතාව විශාල වශයෙන් අවදානම් ප්‍රදේශ නැරඹිම සදහා පැමිණෙන බව අරණායක පොලිසිය සඳහන් කරයි.

එබැවින් සහන සේවා සදහා නොවන පිරිස් නායයාම් සහිත ප්‍රදේශවලට ඇතුළුවිමෙන් වළකින ලෙස පොලිසිය ඉල්ලා සිටී.

මේ අතර දිස්ත්‍රීක් 07කට තවදුරටත් නායයාමේ අනතුරු ඇඟවිම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරන්නේ මහනුවර, රත්නපුර, කුරුණෑගල, නුවරඑළිය, කෑගල්ල, මාතලේ සහ කළුතර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස රැසක් නායයාමේ අවදානම් සහිත ප්‍රදේශ ලෙස නම් කර ඇති බවයි.

Rate this item
(0 votes)