May 10, 2024

ඇඹිලිපිටියේ ඝාතකයින් ගලවාගැනීමේ කුමන්ත්‍රණයක් - නීතීඥවරු හෙළිකරයි (VIDEO)

මෙම වසරේ ජනවාරි 04 වනදින ඇඹිලිපිටියේ පැවති සාදයක් අතරතුර දී මියගිය සුමිත් ප්‍රසන්න පෙරේරා නමැති එක්දරු පියාගේ මරණය ඝාතනයක් බවත් එම ඝාතකයන් ගලවා ගැනීමේ කුමන්ත්‍රණයක් මේ වනවිට දියත්වී ඇති බවත් නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කරයි.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > >

සුමිත් ප්‍රසන්න මහතාගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා ලෙස මොහු මේ බව කියාසිටියේ ඊයේ (11)කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය.

පවුලේ ඥාතීන් විසින් මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර යළි ගොඩ ගෙන යළි මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු යයි ඉල්ලා නොතිබුණු බවත්, එවන් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට එකඟ නොවන බවට මියගිය පුද්ගලයාගේ බිරිඳ දිවුරුම් පෙත්සමක් මගින් අධිකරණයට විරෝධය පවා පළකර තිබුණු බවත් ප්‍රේමරත්න මහතා එහිදී සඳහන් කළේය.

එසේ තිබියදී නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටින්නේ යයි සඳහන් කර ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා යළිත් වරක් මරණ පරීක්ෂණය පැවැත්වීමට ඉල්ලා සිටියේ චූදිත පොලිස් නිලධාරීන් ආරක්ෂා කිරීමට යයි සැකයක් උපදින බව ඒ මහතා අවධාරණය කළේය.

තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ මරණ පරීක්ෂණයකදී සිදුවන්නේ මරණයට හේතුව කුමක්දැයි අනාවරණය කිරීම මිස එය සිදුවූයේ කෙසේද යන්න අනාවරණය කිරීමක් නොවන බවත්, පළමු මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව ලෙස කියැවුණු හේතු සාධකම දෙවන වාර්තාව විසිනුත් තහවුරු කර ඇති බවත්,එමගින් එහි සැබෑ ඝාතකයින් වසන් කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවත් ය.

නිදසුනක් ලෙස දෙවන මරණ පරීක්ෂණ වාර්තාවේ 06වන මතය ලෙස සඳහන් වන පරිදි "මරණකරු මරණීය තුවාල ලැබූ පසු ලේ ගලමින් දෙවන මහලේ ඇති අනාරක්ෂිත බැල්කනිය හරහා ගොස් , අඩක් නිමකළ කොන්ක්‍රීට් ස්ලැබ් පොළොවේ ඇති යකඩකූරු අල්ලාගෙන ප්‍රථම තට්ටුවට බැස ඇති බවට නිගමනය කළ හැක"යනුවෙන් දැක්වෙන බව ප්‍රේමරත්න මහතා අදාළ මරණ පරීක්ෂණ වාර්තාවේ පිටපතක් මාධ්‍යයට නිකුත් කරමින් උපුටා දක්වීය.

එසේම එම වාර්තාවේ 07 වන මතය ලෙස "ඉන්පසු මරණකරු ප්‍රථම මහලේ කොන්ක්‍රීට් ස්ලැබ් පොළොව මත එම ගොඩනැඟිල්ලට වම් පසින් ඇති හිස් ඉඩම දෙසට ගමන් කර පසුව එම කොන්ක්‍රීට් පොළොව හරහා අනෙක් පසට ගමන් කර පිටුපසට ගොස් එහි ඉදිකර තිබූ තාවකාලික මඩුවේ දකුණු පස කොණ සාදා තිබූ යකඩ පොල්ලක් හා තහඩුවක් අල්ලාගෙන ටික වේලාවක් සිටි බව සිතිය හැකි අධිකරණ වෛද්‍ය සාක්ෂි ඇත" යනුවෙන් ද සඳහන් වන බව  නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා පෙන්වා දුන්නේ ය.

නීතීඥවරයා මෙහිදී ප්‍රශ්න කරසිටියේ රෝහලට ගෙන එන මෘත ශරීරයකින් චිත්‍රපට තිරපිටපතක් ලෙස මෙවන් ආකාරයේ විස්තර සැපීමක් සිදුකළ හැක්කේ කෙසේද යන්නයි.

එම නිසා මෙය හිතාමතාම ඝාතකයින් ආරක්ෂා කිරීම සඳහාත්, අධිකරණය නොමග යැවීම සඳහාත් ලියන ලද තිරපිටපතක් හා සමාන ලියවිල්ලක් බව උදුල් ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එම මාධ්‍ය හමුවේදී නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතාගේ අදහස් දැක්වීමේ සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 May 2016 13:02