May 10, 2024

ඇඹිලිපිටිය තරුණයා මියගිය හැටි හෙළිවෙයි

මෙම වසරේ ජනවාරි 04 වනදින ඇඹිලිපිටියේ පැවති සාදයක් අතරතුර දී මියගිය සුමිත් ප්‍රසන්න නමැති තරුණයාගේ අධිකරණ වෛද්‍ය වාර්තාව අද (10) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

අධිකරණ නියෝගයකට අනුව පසුගිය මාර්තු මස 15වන දින යළි ගොඩගනු ලැබූ සුමිත් ප්‍රසන්න මහතාගේ දේහය අධිකරණ වෛද්‍යවරුන් 03දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් විමර්ශනය කරනු ලැබීය.

එම විමර්ශන කමිටු වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් විශේෂඥ වෛද්‍ය මණ්ඩලය ප්‍රකාශ කර ඇත්තේ මියගිය සුමිත් ප්‍රසන්න මහතාට තුවාල සිදුව ඇත්තේ සිද්ධිය වන අවස්ථාවේදී එහි තිබූ දොරක වීදුරුවලට කැපීමෙන් බවයි.

ඔහු එම දොර මතට කෙසේ පතිතවූයේ ද යන්න පිළිබඳව අධිකරණ මතයක් පළ කළ නොහැකි බව ද එම වාර්තාවේ දැක්වෙන අතර ඔහු අඩි 12 හමාරක පමණ උසකින් බිමට වැටී ඇති බව එහි දැක්වේ.

එමෙන්ම මොහු බිමට වැටී ඇත්තේ තම පාද බිමට සිටින සේ වීමේ සම්භාවිතාව ඉහළ බව ද අධිකරණ වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

කිසියම් පුද්ගලයෙකු මියගිය තරුණයා බිමට තල්ලුකළේ නම් ඔහු හරස් අතට වැටීමේ සම්භාවිතාව ඉහළ බව ද විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව් චමින්ද ධර්මරත්න මහතා ගොනු කර ඇති ඇප අයදුම්පත ද අද ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී සැකකාර පොලිස් අධිකාරීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා වෛද්‍ය මණ්ඩලය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ පිටපතක් මහාධිකරණයට ඉදිරිපත් කළේය.

එය ඉදිරිපත් කරමින් සැකකාර පාර්වශයේ නීතීඥවරයා ප්‍රකාශකළේ අදාළ වාර්තාවට අනුව සැකකාර පොලිස් අධිකාරීවරයා වරදක් සිදුකර ඇති බවට ප්‍රකාශ කිරීමේ සම්භාවිතාව අඩු බවත් ඒ අනුව මොහුට ඇප ලබාදෙන ලෙස මහාධිකරණ විනිසුරුවරියගෙන් ඉල්ලා සිටන බවත් ය.

කෙසේවෙතත් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය නියෝගකළේ ඒ පිළිබඳව විරෝධතා ඇත්නම් ලබන 25 වන දින දී ඉදිරිපත් කරන ලෙසය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 May 2016 14:13