May 13, 2024

පාසල් සිසුවියක් ගිනි තබා ගනී (PHOTOS)

බදුල්ල  දෙමල බාලිකා විද්‍යාලයේ 11වන ශ්‍රෙණියේ ඉගෙනුම ලැබු උදයකුමාර් සුගන්නියා නමැති 16 හැවිරිදි ශිෂ්‍යාවක්  තම සිරුරට ගිනි තබාගෙන මියගොස් ඇති බව බදුල්ල පොලීසිය සඳහන් කරයි.

ඇගේ දෙමාපියන් බදුල්ල තෙල්බැද්ද වත්තේ කම්කරුවන් වන අතර ඔවුන් එම කම්කරු නිවාස වල ජීවත්වුව ද මෙම දැරිය ජීවත්ව ඇත්තේ එම කම්කරු නිවාසයට යාබදව පිහිටි ඇගේ මිත්තිනියගේ නිවසේ ය.  

මෙම දැරිය එම කම්කරු නිවාසය පිටුපස පිහිටි වැසිකිලියක ඊයේ (26) අලුයම් කාලයේදී ගිනි තබාගෙන ඇති බව පොලිස් පරික්ෂනවල දී අනාවරණය වී තිබේ.

සිද්ධියෙන් අනතුරුව බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ සවස ඇය මියගිය බව වාර්තා වේ.

බදුල්ල දෙමල බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්. බවානි මහත්මිය පැවසුවේ මෙම ශිෂ්‍යාව ඉගෙනීමට ඉතා දක්ෂ සිසුවියක් බවත් සැම වාරයකම පන්තියේ පලමුවැනියා හෝ දෙවැනියා වූ බවත් පසුගිය වාර විභාගයේ දී ද ඉහලම ලකුණු ලබාගෙන තිබු නමුත් ප්‍රගති වාර්තාව ලබා ගැනිමට පාසැලට නොපැමිණි බවත් ය.

විදුහලේ ශිෂ්‍ය නායිකාවක් වන සුගන්නියා විද්‍යාලයේ තුර්ය වාදක කන්ඩායමේ නායිකාව බව ද සඳහන්කළ විදුහල්පතිනිය කියාසිටිය‍ේ බාහිර හේතුවක් නිසා මේ තත්වය ඇතිවී දැයි ඇයට සැක සිතෙන බවයි.

සුගන්නියාගේ හදිසි මරණය පිළිබඳව ඇගේ පාසලේ ගුරු මණ්ඩලය මෙන්ම ශිෂ්‍යාවන් ද හඬා වැලපෙමින් දැඩි කම්පාවට පත්ව සිටින බව ද වාර්තා වේ.

දැරියගේ මරණය පිළිබඳ හදිසි මරණ පරික්ෂණය බදුල්ල නාගරික හදිසි මරණ පරික්ෂක  ඩී.එම්.ලීලාරත්න  මහතා ඉදිරියේ අද (27) පැවැත්වීමට නියමිතය.

ඡායාරූප පහතින්.

පාලිත ආරියවංශ - බදුල්ල

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 27 April 2016 16:35