May 19, 2024

යුද්ධයෙන් පසු උතුරේ අලුත් සටනක් 

උතුරු පළාත තුළ මත්ද්‍රව්‍ය භාවිතය හා සංසරණය ඉතා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සංඛ්‍යා ලේඛනවලින් ද පෙනී යන බව උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී. සත්‍යලිංගම් මහතා සඳහන් කරයි.

පාළාත් අමාත්‍යවරයා මේ බව පැවසූවේ මේ දිනවල උතුරු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය හා මත්පැන් භාවිතය වැඩිවීම සම්බන්ධයෙන් අප කළ විමසීමක දී ය.

යුද්ධය අවසන් වුවත් ජනතාවගේ ප්‍රශ්න විසඳී නොමැති හෙයින් ඔවුන් මුහුණ පා සිටින මානසික ගැටලු මෙම මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි.

මානසික ගැටලු වශයෙන් තම ඥාතීන් මියයාම, අතුරුදහන්වීම, බලාපොරොත්තු සුන්වීම, පවුල් ප්‍රශ්න හා ආර්ථික ගැටලු මේ කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම පිණිස විවිධ සෞඛ්‍ය වැඩසටහන් රැසක් උතුරු පළාත තුළ ක්‍රියාත්මක කිරීමට පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇතත් එය ඔවුන්ට පමණක් තනිවම කළ නොහැකි දෙයක් බව ද පී. සත්‍යලිංගම් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එමෙන්ම අත්අඩංගුවට ගැනීම, නීති දැඩි කිරීම අනිවාර්ය විය යුතු අතර පොලීසිය, මහජන සංවිධාන ඇතුලු සෑම පාර්ශ්වයක්ම උතුරේ මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීමට එක් වියයුතු බව ද ඔහු පැවසී ය.

ඉන්දියාවට ආසන්නයේ උතුරු පළාත පිහිටා තිබීම හේතුවෙන් ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර මත්ද්‍රව්‍ය හුවමාරුවීම නිරන්තරයෙන් සිදුවීම මගින් ද උතුරේ මත් උවදුර වැඩිවීමට බලපා ඇති ප්‍රධාන සාධකයක් බවට ද උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

වන්නි - රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)