May 20, 2024

මාළු විකිණූ පුද්ගලයාට දඩ 

පුපුරණ ද්‍රව්‍ය යොදා මරණ මසුන් කිලෝ ග්රෑම් 832ක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකුට රුපියල් 50,000 දඩයක් ගෙවන ලෙස මුතූර් මහේස්ත්‍රාත් මොහොමඩ් පයාස් රසාක් මහතා නියම කළේ ය.

මුතූර්, තෝපූර් වීරමහා නගර් පදිංචි වීරකුට්ටි සිවඥානම් නමැති පුද්ගලයාට එලෙස දඩ නියම විය.

 

ලංකා පටුන මුහුදු තීරයේ දී පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලන ලද මසුන් සමග අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ධීවර පරික්ෂක ආර්ඒඑම්ඩී.ප්‍රේමරත්න මහතා සැකකරුට එරෙහි  පැමිණිල්ල ගොනු කළ අතර සාක්ෂි මෙහෙයවීම ධීවර පරික්ෂක ඊඑම් බෝයගොඩ මහතා සිදු කළේ ය.

 

2004 අංක 04 පනතින් සංශෝධිත 1996 අංක 02 දරණ ධීවර හා ජලජසම්පත් පනත යටතේ සැකකරුට එරෙහි නඩු පවරා තිබුණි. 

 

පුපුරණ ද්‍රව්‍ය යොදා  මරණ ලද මසුන් අලෙවි කර රුපියල් 215,920 ක මුදලක් අධිකරණ ගිණුමේ තැන්පත් කළ බව ද එහි දී ධීවර පරික්ෂකවරු අධිකරණයට දැන්වූහ. 

 

සැකකරු අදාල දඩ මුදල වාරික වශයෙන් ගෙවීම සඳහා ඉල්ලූ අතර ඒ අනුව මැයි මස 12 වැනි දා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සැකකරුට මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.

 

අමදෝරු අමරජීව 

Rate this item
(0 votes)