June 18, 2024

කුමන්ත්‍රණවලින් රජය පෙරලීමට යන අයට ජනපතිගෙන් රතුඑළියක්

December 21, 2015

ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කිරීමට සිය ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙල රටේ ජනතාව අනුමත කරන බැවින් කුමන්ත්‍රණ මගින් සිය රජය පෙරලීමට අන්තවාදීන්ට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ ඊයේ(20) යාපනය තිරප්පනෙයි ප‍්‍රදේශයේ පිහිටි අවතැන් වූ ජනතාව රැඳී සිටින කදවුරක් වෙත ගොස් එම ජනතාවගේ සුව දුක් විමසූ අවස්ථාවේදීය.

"ඒ අන්තවාදීන් කියනවා මේ රටේ නැවත එල්ටීටීඊය ඔලුව උස්සන්න අපේ ආණ්ඩුව ඉඩ දෙනවයි කියල. මේ රටේ නැවත යුද්ධයක් ඇතිවෙන්න කිසිසේත් අපි ඉඩදෙන්නේ නෑ කියල සහතික වෙනවා." ජනාධිපතිවරයා පැවසී ය.

2009 මැයි මාසයේදී යුද්ධය අවසන් වූ නමුත් ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට පැවති රජය අපොහොසත් වූ බවත් මේ රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටී ඇතැයි පවසන අය යුද්ධය ඇතිවීමට හේතු සෙවිය යුතු බවත් ජනාධිපතිවරයා පැවසී ය.

මේ රටේ අන්තවාදීන්ට උතුරේ ජනතාව හමුවෙන්නැයි තමා ආරාධනා කරන බවත් ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයා දීමට තමන් සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

"ඒගොල්ල සියලු දෙනාම එක හඬින් අත් උස්සලා ඒක කතාවක් කිවුවා. අපි අවුරුදු 25 කට කලින් හිටපු තැනට අපිව ගෙනිහින් දාන්න කියල. ඒක නිසා මම කොළඹ ඉඳන් කෑගහන අන්තවාදීන්ට කියනවා, බොරුවට කෑගහන්නේ නැතුව ප්‍රශ්නේ තේරුම් ගන්න කියල." යැයි ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජාතික ආරක්ෂාව බිඳ වැටී ඇති බව පවසමින් ඉක්මනින් ආණ්ඩු හදන්න බලාපොරොත්තු වන අන්තවාදීන්ට කුමන්ත්‍රණ මගින් ආණ්ඩු පිහිටුවීමට ජනතාව ඉඩ නොතබන බවත් ඔහු පැවසීය.

"පාර්ලිමේන්තු කුමන්ත්‍රණවලින් අලුතෙන් ආණ්ඩු හදන්න මමත් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයත් ඉඩ තියෙන්නේ නැහැ." යැයි ද හෙතෙම අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවාසීන්ගේ නිදහස සහ සංහිඳියාව වෙනුවෙන් එකමුතු වන මෙන් නත්තලේදී සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(1 Vote)
Last modified on Monday, 21 December 2015 03:39