May 19, 2024

ආදාහන පූජෝත්සවය නිසා විශේෂ රථ වාහන සැලැස්මක්

November 12, 2015

අපවත් වී වදාළ අති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ ආදාහන පූජෝත්සවය පැවත්වීමට නියමිත අද (12) දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියත්මක කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (11) නා හිමියන්ගේ අවසන් කටයුතු පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සකච්ඡාවට සහභාගී වෙමිනි.

ඒ අනුව එම රථ වාහන සැලැස්ම ආදාහන පූජෝත්සවයේ පෙරහැර ගමන් ගන්නා මාර්ගයේ මෙන්ම ආදාහන පූජෝත්සවය පැවැත්වෙන පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අවට මාර්ගවලත් ක්‍රියත්මක කිරීමට නියමිතය.

අද පෙරවරු 11.00 සිට ආදාහන පූජෝත්සවයේ අවසානය තෙක් පාර්ලිමේන්තුවට ඇතුළුවීමට පොල්දූව හංදිය, පාලම් 03 හංදිය, පැලවත්ත හංදිය හා කිඹුලාවල හංදිය යන මාර්ගවලට රථ වාහාන ඇතුළු කිරීම සීමා කර තිබේ. 

එම ස්ථානවලින් ඇතුළු කළ හැකිවන්නේ ආදාහන පූජෝත්සවයට බැතිමතුන් රැගෙන පැමිණෙන වාහන සහ එම ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ගේ වාහන පමණි.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාන්නගේ ශ්‍රී දේහය රැගත් පෙරහැර  ශ්‍රී නාග විහාරය අසලින් පස්වරු 01.30ට ගමන් අරම්භ කිරීමට නියමිතයි. ශ්‍රී දේහය රැගත් පෙරහැර ශ්‍රී නාග විහාරය අසලින් අරම්භ වී කෝට්ටෙ පාර ඔස්සේ ශ්‍රි ජයවර්ධනපුර මාර්ගයට, කෝට්ටේ කුළුණ හංදියෙන් අවතීර්ණ වී ශ්‍රි ජයවර්ධනපුර පාරේ පොල් දූව හංදිය දක්වා මාර්ගයේ දකුණු පස මාර්ග තීරුවේ පොල්දූව හංදිය දක්වා ගමන් කර පොල්දූව හංදියෙන් පාර්ලිමේන්තු පාරට අවතීර්ණ වී පාර්ලිමේන්තු පිටිය දක්වා ගමන් කරනු ලබයි. 

ශ්‍රි නාග විහාරය ඉදිරිපිය පිට කෝට්ටේ සිට ජුබිලි කණුව දෙසට පමණක් වාහන ගමන් කිරීමට ඉඩ සලසා ඇති අතර පස්වරු 01.00ට පිටකෝට්ට සිට ජුබිලි කණුව දෙසට වාහන ගමන් කිරීම ද සීමා කරනු ලැබේ.

පස්වරු 01.15ට පිටකෝට්ට විදුලි බලාගාර හංදංයේ සිට පිටකෝට්ට දෙසටත්, බැද්දගාන හංදියේ සිට පිටකෝට්ට දෙසටත් වාහන ගමනාගමනය සීමා කරයි.

පස්වරු 01.30 කෝට්ට කුළුන හංදියේ සිට පිටකෝට්ටේ හංදිය දක්වා වූ මාර්ගයේ දෙපසටම වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම සීමා කරනු ලැබේ. (එම මාර්ගය ඔස්සේ ආදාහන පෙරහැර ගමන් ගන්නා බැවිනි) ආදාහන පෙරහැර ශ්‍රි ජයවර්ධනපුර මාර්ගයට අවතීර්ණ වූ පසුව පිටකෝට්ටේ - කුළුණ හංදිය වාහන සඳහා විවෘත වේ.

පස්වරු 01.30 සිට පස්වරු 02.00 දක්වා පාගොඩ පාරේ සිට පිටකෝට්ට දෙසට වාහන ගමන් කිරීමත්, තලවතුගොඩ දෙස සිට මාදිවෙල පාරේ පිටකෝට්ටේ දෙසට වාහන ගමන් කිරීමත් සීමා වේ.

ආදාහන පෙරහැර ශ්‍රි ජයවර්ධනපුර මාර්ගයේ කුළුණ හංදියේ සිට පොල්දූව හංදිය දක්වා දකුණු පස මාර්ග තීරුවෙන් ගමන් කරන අතර බත්තරමුල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහන සඳහා ප්‍රතිවිරුද්ධ මාර්ග තීරුවේ එක් මංතීරුවක් වෙන් කර ඇත. පස්වරු 02.00 පමණ සිට ආදාහන පෙරහැර පාර්ලිමේන්තු මාර්ගයට පිවිසෙන තෙක් මෙය ක්‍රියත්මක වේ.

මෙම සම්පූර්ණ මාර්ග සැලැස්ම ක්‍රියත්මකවන කාලයේ දී කොළඹ සිට මාලඹේ දෙසට විකල්ප මාර්ගයක් ලෙස හයිලෙවල් පාර, පන්නිපිටිය, තලවතුගොඩ, හෝකන්දර හරහා මාලඹේ මාර්ගය භාවිත කළ හැකි ය. 

බත්තරමුල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් ගන්නා වාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස තලංගම පොලීසිය පාර, අග්ගොන හංදියෙන් පරණ අවිස්සාවේල්ල පාරට පිවිස ගමන් කිරීම හෝ ගොතටුව නගරය හරහා කොළොන්නාව, දෙමටගොඩ හරහා කෙළඹට පිවිසිමට හැකිය. නුගේගොඩ සිට පාගොඩ පාරෙන් ගමන් කර පිටකෝට්ටේ හරහා තලවතුගොඩ දෙසට ගමන් කරන වාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස ස්ටැන්ලි තිලකරත්න මාවත, ජුබිලි කණුව, මාදිවේල ඔස්සේ තලවතුගොඩට පිවිසිය හැකි ය. තලවතුගොඩ සිට නුගේගොඩට ගමන් කරන වාහන අවස්ථානුකූලව එම මාර්ගයම භාවිතා කළ හැකි ය.

ආදාහන උත්සවයට බැතිමතුන් රැගෙන එන සියළුම සැහැල්ලු වාහන ආදාහන පෙරහැර පාර්ලිමේන්තු පාරට ඇතුළු කිරීමට පෙර පොල්දූව වට රවුමෙන් පාර්ලිමේන්තු පාරට ඇතුළු කිරීම අවශය වේ.

බැතිමතුන් රැගෙන එන බස් රථ පහත පරිදි ඇතුල් කළ හැකි ය.

- පන්නිපිටිය දෙසින් එන බස්රථ පැලවත්ත හංදියෙන් අපේ ගම දෙසට පැමිණ එතනින් බැතිමතුන් බස්සවා ජපන් මිත්‍රත්ව පාරේ නැවැත්විය යුතු ය.

- කොබ්බැකඩුව පාරෙන් ඇතුල්වන බස් රථ පාලම් 03 අසලින් බැතිමතුන් බස්සවා ජපන් මිත්‍රත්ව පාරේ නැවැත්විය යුතුය.

- පොල්දූව හංදියෙන්, පාර්ලිමේන්තු පාරෙන් පැමිණෙන සියලු සැහැල්ලු වාහන හා බස් රථ බැතිමතුන් පාර්ලිමේන්තු පිටරවුම් පාරෙන් බස්සවා ජපන් මිත්‍රත්ව පාරේ  නැවැත්විය යුතුය.

- කිඹුලාවල හංදියෙන් ජපන් මිත්‍රත්ව පාරෙ පැමිණෙන බස් රථ කියැන් හෑම් වට රවුම හරහා පාළම් 03 දක්වා ගොස් එහි දි බැතිමතුන් බස්වා කෝට්ටාව පාරෙ පැලවත්ත හා තලවතුගොඩ අතර නැවැත්විය යුතු ය.

- ශ්‍රි දේහය රැගත් ආදාහන පෙරහැරේ ගමන් ගන්නා සියලුම බැතිමතුන්ගේ වාහන නවතා තැබීමට පොල්දූව හංදිය අසල ‍‍‘දියත උයන‍‘ රථ වාහන නැවතුම වෙන් කර ඇත. ආදාහන පූජෝත්සවයට පැමිණෙන වෙනත් ඔනෑම වාහනයක් වූව ද එහි නවතා තැබීය හැකි ය.

අද දින පස්වරු 01.00 සිට පස්වරු 05.00 පමණ දක්වා පහත මාර්ගයන්හි බර වාහන ගමන් නොකරන ලෙසටත්, කිසිඳු හේතුවක් මත රථ වාහන නවතා නොතබන ලෙසටත් පොලිසිය ඉල්ලා සිටී.

 - රාජගිරිය සිට මාලඹේ දක්වා මාර්ගය

- බත්තරමුල්ල සිට පන්නිපිටිය දක්වා මාර්ගය

- තලවතුගොඩ සිට පිටකෝට්ටේ හරහා නුගේගොඩ මාර්ගය

- ජුබිල කණුව සිට මහරගම දක්වා මාර්ගය

- මාදිවේල සිට ඇඹුල්දෙණිය දක්වා මාර්ගය

- කෝට්ටේ කුළුණ හංදිය සිට පිටකෝට්ටේ දක්වා මාර්ගය

ආදාහන පූජෝත්වය නිමිත්තෙන් රථ වාහන හැසීරවීමේ රාජකාරී සඳහා විවිධ තනතුරුවල පොලිස් නිලධාරීන් 600ක් පමණ ද, අරක්ෂක හා අනෙකුත් රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 650ක් ද, පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් 650ක් ද යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)