May 19, 2024

ඇප කොන්දේසි අසම්පූර්ණයි - රැඳවියන් යළි බන්ධනාගාරයට

November 12, 2015

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිට අධිකරණයෙන් ඇප පිට නිදහස් වූ ද්‍රවිඩ සැකකරුවන් 31 දෙනා යළි බන්ධනාගාරය වෙත යොමු කර තිබේ.

ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරීම හේතුවෙන් ඔවුන් එලෙස  යළි බන්ධනාගාරය වෙත යොමු කර ඇතැයි වාර්තා වේ.

මෙම සැකකරුවන් ඊයේ (11) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ත්‍රස්ත මර්දන කාර්යාංශය අධිකරණයට දැනුම් දී සිටියේ ඔවුන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි.

ඒ හේතුවෙන් අදාළ සැකකරුවන් ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

කෙසේ වුව ද ඊයේ පස්වරුවේ නීතිපතිවරයා විසින් මෝසමක් ඉදිරිපත් කරමින් අදාළ නඩුව නැවත කැඳවන මෙන් ඉල්ලීමක් කර තිබූ බව වාර්තා වේ.

අධිකරණයේ පෙනී සිටි රජයේ නීතීඥවරයා පවසා ඇත්තේ මෙම සැකකරුවන් පිරිස කොන්දේසී සහිත ඇප මත මුදාහැරීමට නීතිපතිවරයාගේ විරුද්ධත්වයක් නොමැති බවයි.

ඒ අනුව අදාළ සැකකරුවන් රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇප දෙක බැගින් නියම කොට මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කර තිබුණි.

ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරයා පදිංචිය තහවුරු කිරීමේ ලේඛන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ද සැකකරුවන්ට දැනුම් දී තිබේ.

සෑම දෙසතියකට වරක් ඉරිදා දිනයේ ත්‍රස්ත මර්දන කාර්යාංශයට වාර්තා කළ යුතු බව සඳහන් කර ඇති මහේස්ත්‍රාත්වරයා ඇප කොන්දේසී කඩ කරන්නේ නම් යළි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන බව දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් මොවුන් විසින් පදිංචිය තහවුරු කිරීමේ ලේඛන ඇතුළු ඇප කොන්දේසි ඉදිරිපත් නොකිරීම නිසා යළි බන්ධනාගාරය වෙත යොමු කළ ද එම කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පසු ඔවුන්ට නිදහස් කිරීමට පියවර ගන්නා බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)