May 17, 2024

කොටදෙණියාව දැරිය ඝාතනයට අදාල DNA පරීක්ෂණ වාර්තා නොගැළපෙයි - සිසුවා නිදහස් වන ලකුණු!

කොටදෙණියාව සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළමු සැකකරුවන් දෙදෙනාගේ ඩීඑන්ඒ සාම්පල ඝාතනයට අදාළව නොගැළපෙන බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණය වී තිබේ.

ඒ අනුව, 17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් සැකකරු මුදා හැරීම සඳහා අද දිනයේදී ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

කොටදෙණියාවේ, බඩල්ගම, අකරංගහදී කෙලෙසා මරා දැමූ සේයා දැරියගේ ජාන හා රිමාන්ඩ් භාරයේ සිටි සැකකාර පාසල් සිසුවාගේත්, 31 හැවිරිදි කැළුම් අත්තනායකගේත් ජාන නොසැසඳෙන බව බොරැල්ලේ ජීන් ටෙක් ජාන පර්යේෂක මධ්‍යස්ථානය සිය වාර්තාවෙන් දන්වා ඇතැයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා අද (01) ප්‍රකාශ කළේය.

එසේනම් එම දෙදෙනා නිදහස් කරන්නැයි රහස් පොලිසිය ඉල්ලා සිටියේය. ඔවුන් උසාවියට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා මීගමුව බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළේය.

රහස් පොලිසිය අද මෝසමක් මගින් නඩුව කැඳවීය. පෙරදිනයේ උසාවියට ලැබුණු ඩීඑන්ඒ වාර්තාව අනුව සිසුවා හා අත්තනායක නම් සැකකරු සම්බන්ධ තීරණය ප්‍රකාශ කරන්නැයි අධිකරණයෙන් අයැද සිටියේය. මහේස්ත්‍රාත්වරයා පැවසූයේ පාසල් සිසුවාගෙන් හා අත්තනායකගෙන් ගත් සාම්පල හා මියගිය සේයාගෙන් ලබාගත් සාම්පල නොසැසඳෙන බවයි.

ඔවුන් දෙදෙනා රැගෙන ඒම සඳහා බන්ධනාගාර රියක් මීගමුවටද යැවිණි. එතෙක් නඩුව කල් තැබිණි.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 October 2015 09:41