May 03, 2024

‘වෛරී දේශපාලනය මේ රටින් තුරන් කළ යුතුයි‘ - ජනපති පක්ෂ සමුළුවේදී කියයි

September 02, 2015

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්‍රතිසංස්කරණය කර නව මුහුණුවරකින් ඉදිරියට යා යුතු බවත් නව පක්ෂයක් ගොඩනගා ගත යුතු බවත් කළ යුතු නොකළ යුතු දේ තේරුම් බේරුම් කර ගත යුතු බවත් ශ්‍රීලනිප සභාපති ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (02) පක්ෂ මහා සමුළුව අමතමින් පැවසුවේය.

වෛරී දේශපාලනය නැති කර රටේ අභියෝගවලට මුහුණ දී ජනතාවගේ හා රටේ ඕනෑ එපාකම්වලට මුල් තැන දිය යුතු බව ද සෑම දෙනාම මිත්‍රශීලීව ක්‍රියා කළ යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

ජාත්‍යන්තර අභියෝගයේ සිට දේශීය අභියෝග දක්වා සියලු ප්‍රශ්න ගැන හැම දෙනකුටම පූර්ණ අවබෝධයක් සිටිය යුතු යැයි ද ආණ්ඩු බලයක් අනාගතයේ දී ලබා ගැනීම සඳහා සියලු දෙනාම එක්ව ක්‍රියා කළ යුතු යැයි ද ඔහු පැවසී ය.

ජනාධිපතිවරයා මෙසේද පැවසී ය.

“වෙනස් වෙන ලෝකය තුළදී රටට වෙස්විය යුතු වෙනවා. ඒ සඳහා දේශපාලන වෙනස්කම් සිදුකළ යුතු වෙනවා. ගැටලු දේශපාලන ප්‍රබලතා මෙන්ම අද දවසේ තිබෙන අභියෝග හඳුනාගත යුතු වෙනවා. ශක්තිමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ගොඩනගන්නට මා ඔබට දෑත් දිගු කර ආරාධනා කරනවා. ජයග්‍රහණය - පැරදීම අමතු දෙයක් නෙමෙයි. එය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිදුවන දෙයක්. පාර්ලිමේන්තු මැතිවරණයක් ජයගැනීමටත් ජනපතිවරණයක් අනාගතයේදී තිබුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එයින් ජයග්‍රහණය කරවීමට ඔබගේ වගකීම අවශ්‍යයි. නිදහස් පක්ෂයේ තිබුණාවූ අභියෝග සඳහා පක්ෂය ලෙස ගත යුතු ක්‍රියාමාර්ග පක්ෂ නායකයන් ගත්තා. ඒ හරහා රට ඉදිරියට පැමිණියා. ඒ ගමනේදී අත්දැකීම් රාශියක් තිබෙනවා.මේ රටේ දේශපාලන සංස්කෘතිය 50, 60, 70, 80, 90 දශකයේ සිට මේ දක්වා පිරිහීම් ඇතිවුණා. දේශපාලනඥයාගේ ගෞරවය ඔහු විසින්ම කෙලසා ගත්තා. දේශපාලනඥයාගේ චරිත ලක්ෂණ තාක්ෂණික ලෝකයේ වාණිජ්‍ය සමාජය තුළ ජනතාවට පිළිගත නොහැකි ආකාරයට පරිහානියට ලක්වුණා.“  

“මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය තුළ යුද්ධය ජයග්‍රහණය කළා. මීලග ආණ්ඩුවක් හදන්න අපි සෑම කෙනෙක්ම දශක කිහිපයක් තුළ ඇති වූ දේශපාලන පිරිහීම් තුළ ගුණාත්මක දේශපාලනයක් පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යාවශයි. සෑම කටයුත්තකම පක්ෂ ලෙස බෙදුනු ක්‍රියාකාරකම් ග්‍රාමීය මට්ටමට කිදා බැස නොකළයුතු දේ සිදුවුණා. දියුණු රටවල් වල ආණ්ඩු හැදීමේදී කටයුතු කරන ආකාරය, රට සංවර්ධනය කරන ආකාරය පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. පක්ෂ අතර තිබෙන බෙදීම අවසන් කළ යුතුයි. මගේ වැඩකටයුතු වල කරන විවේචන වලදී මම කියන්න ඕන මම වේගයෙන් ගමනක් යන කෙනෙක් නෙමයි. මම සෙමින් ගමනක් යන කෙනෙක්. ඒ ගමන කාටවත් නවත්වන්න බෑ. එක ගමනක් සඳහා රට වෙනුවෙන් ගමන් කරන්නට මම උත්සාහ කරන්නේ.“ යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.

“අද වන විට වෛරී දේශපාලනය ගැලපෙන්නේ නෑ. රට ගොඩනගන්න සියලු දෙනාගේම සහාය අවශ්‍යයි. පසුගිය මැතිවරණ වල ප්‍රතිපල අධ්‍යනය කිරීමේදී අපි සුජාත දේශපාලන දරුවෙක් බිහිවිය යුතුයි. අපි අවුරුදු 20ක් පක්ෂයක් ලෙස කටයුතු කළා. ඉදිරි දේශපාලන කටයුතු වලදී පක්ෂය පූර්ණ ලෙස ප්‍රතිසංවිධානය කළ යුතු වෙනවා. නව ලෝකය නව සිතුම් පැතුම් අනුව පක්ෂය ගොඩනැගිය යුතු වෙනවා. අපිට ප්‍රධාන වශයෙන්ම සංවත්සර උලෙලේදී ප්‍රධාන වගකීමක් පැවරෙනවා පක්ෂය පූර්ණ ප්‍රතිසංස්කරණය කර නව රජයක් බිහිකිරීමට රටේ සියලු ජනකොටස්වලට පිළිගත හැකි පක්ෂයක් බවට මෙය පරිවර්තනය කළ යුතුයි. අපිට රටක් ලෙස මුහුණ දෙන්න තිබෙන අභියෝග නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථිකය, ජාත්‍යන්තර අභියෝග ජය ගැනීමට අවධානය යොමු කළ යුතුයි. රට ගොඩනැගීමේදී අපේ වගකීම් මෙනවාද කියා අවධානය යොමු කළ යුතුයි.“ යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

ජනපතිවරයා මෙලෙස අදහස් දක්වද්දී ඔහු ළඟ ආසනයේ පක්ෂ අනුශාසක හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද සිටියේය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 September 2015 17:05