May 11, 2024

එක්නැළිගොඩ අතුරුදන් වීමේ සිද්ධියට අදාළව දෙදෙනෙකු අත්අඩංගුවට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදන්වීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ය.

මෙම සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු විශ්‍රාමික හමුදා මේජර්වරයෙක් වන අතර අනෙක් පුද්ගලයා පුනුරුත්තාපනය කළ හිටපු LTTE සාමාජිකයෙකු බවයි ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

දැනට ලැබී ඇති වැදගත් තොරතුරු ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශණ සිදුකෙරෙමින් පවතින බව ද ඒ මහතා සඳහන් කළේ ය.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජනාධිපති නිලය අවභාවිතය කරන්නට ඉඩ නොදෙන ලෙසත් තම සැමියා පිළිබඳ සිදුකෙරෙමින් පවතින පරීක්ෂණ අතරමග නැවැත්වීමට කිසිවෙකුට ඉඩ ලබා නොදෙනෙ ලෙසත් ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය මාධ්‍ය හමුවක් අමතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කළා ය.

එමෙන්ම ඇය හමුදාපතිවරයාගෙන් ද ඉල්ලා සිටියේ මෙම සිදුවීමට චෝදනා ලැබ සිටින නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට යි.

Rate this item
(0 votes)