May 21, 2024

යාපනයේ බිය සැක නැති නිදහස් තත්වයක් - කීර්ති තෙන්නකෝන් 

මෙවර මහ මැතිවරණයේ දී යාපනයේ ජනතාවට කිසිදු බියකින් සැකයකින් තොරව තමන් කැමති නියෝජිතයා පාර්ලිමේන්තුවට තෝරා පත් කර යැවීමට අවස්ථාව උදා වී ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (10) යාපනයේ පැවති මාධ්‍ය හමුවක දී ය.

2008 සිට පසුගිය ජනවාරි 08 වැනි දා දක්වා පැවැත් වූ සෑම මැතිවරණයක දී ම ආරක්ෂක හමුදා සාමාජිකයින්, ඒ ඒ හමුදාවලට අයත් සම්පත්, සිවිල් ඇඳුමෙන් සැරසුණු හමුදා සෙබලුන්, මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධවීම නිසා ඡන්දදායකයින් තුළ බියජනක තත්වයක් ඇති කළ බව  තෙන්නකෝන් මහතා සඳහන් කළේ ය. 

එමෙන්ම අංක තහඩු රහිත වාහන, ගරාජ් අංක සහිත වාහන  සහ නාදුනන කණ්ඩායම් උතුරට ගොස් මැතිවරණ කටයුතුවලට සම්බන්ධවීම නිසා ද මෙම බියජනක තත්ත්වය තවදුරටත් වර්ධනය වූ බව හෙතෙම දුන්නේ ය.

නමුත් මෙවර එවැනි බියජනක තත්ත්වයක් උතුරේ නිර්මාණය කිරීමට කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට නොහැකි වී ඇති බව තෙන්නකෝන් මහතා සඳහන් කළේ ය.

කෙසේ වෙතත් මේ වනවිට වවුනියාව, යාපනය, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම ආදී ප්‍රදේශවල මැතිවරණ නීති රකින ආකාරයක් දක්නට ලැබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. 

ඒ පිළිබඳ අදහස් දැක් වූ කැෆේ විධායක අධ්‍යක්ෂවරයා පැවසුවේ, "මේ වනවිට එම ප්‍රදේශවල නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වී ඇති බවයි. මේ නිසා වෙනදා එක් කණ්ඩායමක් පමණක් අධිපතිවාදී ස්වරූපයෙන් මැතිවරණ ව්‍යාපාරයේ නිරත වූ උතුරේ ඇතැම් ප්‍රදේශවල මෙවර අනිකුත් දේශපාලන පක්ෂවලට හා කණ්ඩායම්වලට නිදහසේ මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යාමේ සමබිමක් නිර්මාණය වී ඇති බවත් ය.

Rate this item
(0 votes)