May 20, 2024

'හිරුණිකා ගෙදරට ඇවිත් බඩු කුඩු කළා' - කතක් චෝදනා නගයි

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ ඇය සමග පැමිණි පිරිසක් තම නිවසේ දේපළවලට අලාභහානි සිදුකළ බවට කාන්තාවක් චෝදනා කරයි.

මෙම කාන්තාව රාජගිරිය පොල්වත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඊයේ සවස මැතිවරණ ප්‍රචාරණ කටයුත්තක් අතරතුර දී සිදු වූ ගැටුමකින් පසු මෙම පහරදීම සිදු වී ඇති බව වාර්තා වේ.

සිද්ධිය පිළිබඳව අදාළ කාන්තාව මෙසේ අදහස් දක්වා තිබේ.

"අපි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂ මහත්තයගේ අත් පත්‍රිකා බෙදීමක් කළා ඊයේ උදේ. ඒ අතරේ මගෙ පුතාත් හිටියා. ඒ යන අතරතුර අපේ පුතාට පොල්ලක් අරගෙන ගැහුවා හිරුණාකාගේ පාක්ෂිකයෙක්. ඊළඟට මේගොල්ලෝ බොරු ඇන්ට්‍රියක් දාලා තියෙනවා පොලීසියට ගිහිල්ලා, අපේ පුතා ඒගොල්ලොන්ගේ ගෙවල් කැඩුවා කියලා. ඊට පස්සේ පොලිසියෙන් ආවා අපේ ගෙදරට. පුතාව අරගෙන ගියා පොලිසියට. පුතාව අරන් ගිය අතරෙ මම ගියා පොලිසියට යන්න. මම මගට යද්දි මට කෝල් එකක් ආවා අපේ ගෙදරට ඇවිල්ලා හිරුණිකායි එයාගේ ගාඩ් එකයි ගේ කඩනවා කියලා. මං ඊටපස්සේ ආයෙ හැරිලා ආවා. අපේ ගේට්ටුව කඩලා, දොර කඩලා, ගෙදර බඩු කුඩු කරලා ඒගොල්ලෝ ගිහින් තියෙනවා."

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට මෙන්ම මැතිවරණ මහලේකම් කාර්යාලයට ද පැමිණිලි කළ බව මෙම කාන්තාව ප්‍රකාශ කර තිබේ.

Rate this item
(0 votes)