May 11, 2024

ජල ප්‍රශ්නය සිහිකරමින් රතුපස්වල ගම්වාසීන් අද පාරට බසී  

වැලිවේරිය රතුපස්වල ජල ගැටළුව ගැන පැවති උද්ඝෝෂණයට වෙඩි තබා තිදෙනකු මිය යෑමේ සිද්ධියට වසර දෙකක් සපිරීම නිමිත්තෙන් විශේෂ රැලියක් අද (09) සවස 3.00ට රතුපස්වල කම්හල ඉදිරිපිට දී පැවැත්වීමට නියමිතය.

රතුපස්වල පිහිටි රබර් කර්මාන්ත ශාලාවක් නිසා ජලය අපවිත්‍ර වන බව කියමින් හා එනිසා අපිරිසිදු වූ ජලය වෙනුවට පිරිසිදු පානීය ජලය ලබා දෙන ලෙස ඉල්ලා 2013 අගෝස්තු 01 වැනි දා පැවැති උද්ඝෝෂණයට වෙඩි තැබීමෙන් තිදෙනෙක් මිය ගියහ. මාධ්‍යවේදීන් ඇතුළු 50කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

“රතුපස්වල වෙඩි තබා වසර දෙකයි, උද්ඝෝෂණය කළ ගැමියන්ට නඩු, වෙඩිතැබූවන් නිදැල්ලේ“ මැයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ රතුපස්වල ගම්වාසීන් සංවිධානය කරන මේ රැස්වීමට තුවාල ලැබූ ගම්වාසීන්, පුරවැසිබලය සංවිධානය, සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වෙති.

රතුපස්වල ජල සටනේදී තුවාල ලැබූවන්ට වන්දි ලබා දෙන ලෙසත්, සහන මිලට ජල සම්බන්ධතා ලබා දෙන ලෙසත්, නඩු පැටැළවූ ගම්වාසීන්ට සාධාරණය ඉටු කරන ලෙසත්, වැරදිකරුවන්ට දඩුවම් දෙන ලෙස බල කිරීම හා ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් එම ඉල්ලීම් ඉල්ලා මහජන පෙත්සමක් අත්සන් කිරීම මේ රැලියේ අරමුණ බව සංවිධායකයෝ පවසති.

Rate this item
(0 votes)