May 12, 2024

එජාපයේ ඇමති ගැටුමක් ගැන ඩිලාන්ගෙන් හෙළිදරව්වක් (VIDEO)

එක්සත් ජාතික පක්ෂයේ රවී හා මලික් අතර විශාල ගැටුමක් හටගෙන ඇති බවත් මලික් සමරවික්‍රම මේවන විට එතුමාගේ කල්ලිය නැවත ශක්තිමත් කරමින් සිටින බවත් හිටපු අමාත්‍ය එජනිස ජාතික ලැයිස්තු අපේක්ෂක ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (08) පැවති එජනිස මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මෙසේ ද පැවසී ය.

“මේ වෙන කොට එක්සත් ජාතික පක්ෂය ඇතුළේ විශාල ගැටුමක් යනවා මලික් සමරවික්‍රම මැතිතුමා කියනවා එතුමා තමයි ඊළඟ මුදල් ඇමති කියලා ඒ හින්දා රවී හා මලික් අතර ගැටුමක් පටන් අරන් තියෙනවා ඒ වගේම මලික් සමරවික්‍රම මැතිතුමා දැන් එතුමාගේ කල්ලිය නැවත ශක්තිමත් කරමින් ඉන්නවා එක්සත් ජාතික පක්ෂය ඇතුළෙ.“

මේ අතර බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඩිලාන් පෙරේරා මහතා  මෙසේ අදහස් පළ කළේය.

“අල්ලගත්ත විදිහ පිළිබඳව නම් ප්‍රශ්නයක් තියෙනවා. අල්ලගත්තෙම ඔබතුමියලා සාමාන්‍යයෙන් විරුද්ධ වෙච්ච සුදු වෑන් සංස්කෘතියෙන් අල්ලගෙන ගියේ ඇවිල්ලා. උසාවිය ළඟට සුදු වෑන් එකකින් ඇවිල්ලා CID එකෙන් එයාව බලහත්කාරයෙන් රැගෙන යන්න ඇත්තෙම ඔහු සාමාන්‍ය සැකකරුවෙක්ට වඩා බරපතළ සැකකාරයෙක් හින්දා වෙන්න ඇතිනේ. මම කියපු කාරණය සනාථ වෙනවා. ඒ කියන්නේ මේක පාතාල කල්ලි 2ක් අතර ඇති වෙච්ච ප්‍රශ්නයක්.“

දුමින්ද සිල්වා සමග පාතාල කණ්ඩායම් සිටියේදැයි එහිදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඩිලාන් පෙරේරා මහතා පැවසූවේ දුමින්ද සිල්වා සමග පාතාල කණ්ඩායම් සිටියේ ද යන්න සම්බන්ධයෙන් තමන් නොදන්නා බව යි.

 

Rate this item
(0 votes)