May 11, 2024

ඇමති නවීන් මැතිවරණ නිලධාරීන්ව හරවා යවයි

අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ රැස්වීමකට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිළධාරීන් පැමිණ එම රැස්වීම නීති විරෝධි බව පෙන්වා දී තිබේ. එය දේශපාලන රැස්වීමක් නොවන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා අවධාරණය කර රැස්වීම ඉදිරියටත් සිදු කරගෙන ගොස් තිබේ.

ගාමිණි දිසානයක පදනම මගින් සංවිධානය කර තිබූ පෙර පාසල් ගුරුවරියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (08) හැටන් දික්ඔය නගර සභා ශාලාවේ එම පදනමේ සභාපති කී‍්‍රඩා හා සංචාරක හා නුවරඑළිය දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක නවීන් දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් විය.

මෙම වැඩමුළුවේ දී අමාත්‍යවරයා විසින් සභාව අමතමින් සිටින අවස්ථාවේ නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පිරිසක් පැමිණ අමාත්‍යවරයා හමුවේ පවසා සිටියේ මෙවැනි රැස්වීමකට සහභාගිවීම මැතිවරණ නීතිවලට පටහැනි බවයි. 

එබැවින් මෙම රැස්වීම් ශාලාවෙන් ඉවත්වන ලෙස එම නිලධාරීන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර මෙය දේශපාලන රැස්වීමක් නොවන බවත්, තමන් ගාමිණි දිසානායක පදනමේ සභාපතිවරයා වශයෙන් මැතිවරණයට කලින් සැලසුම් කර තිබූ මෙම රැස්වීමට සහභාගි වූ බවත් අමාත්‍ය නවීන් දිසානයක මහතා එම නිලධාරීන් හමුවේ පැවසී ය.

එබැවින් එම රැස්වීම නැවත්වීම නීත්‍යානුකුළ නොවන බව පවසා අමාත්‍යවරයා විසින් පෙර පාසල් ගුරුවරුන් ඇමතීම සිදු කළේ ය. මේ පිළිබඳ වාර්තාවක් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සඳහන් කර තිබේ.

මේ දිනවල දේශපාලන කරලිය උණුසුම් වුවත් අපේක්ෂකයින් අතර මීට පෙර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයන් මෙම මැතිවරණයේ දී දක්නට නොලැබෙන්නේ සැබෑ යහපාලනය නිසා එහි දී අදහස් දැක් වූ අමාත්‍ය නවින් දිසානායක මහතා සඳහන් කළේ ය.

ඕනෑම දේශපාලඥයෙකු වසර 12 කට වඩා දේශපාලනයේ රැඳී සිටින අවස්ථාවක ඔහුව එපාවන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිදුවූයේ එවන් දෙයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

හැටන් - රංජිත් රාජපක්ෂ

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 08 August 2015 23:10