May 11, 2024

මහින්දගේ ලේකම් චන්ද්‍රකාට දුන්න පිලිතුර මෙන්න

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් පසුගිය දිනක මාධ්‍යවෙත නිකුත් කරන ලද නිවේදනයකට පිළිතුරු ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා තවත් නිවේදනයක් නිකුත් කර ඇත.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.



පුද්ගලික ප‍්‍රශ්ණයක් මත රටටත් පක්‍ෂයටත් පිටුපෑම

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පෙරේදා නිකුත් කළ විශේෂ ප‍්‍රකාශය ගැන අපි කණගාටු වෙමු. නමුත් එතුමිය 2005, 2010 සහ 2015 සියලූම ජනාධිපතිවරණවලදී දැරුවේ එවැනිම ස්ථාවරයක් නිසා අප මේ ප‍්‍රකාශය ගැන එතරම් මවිත වන්නේ නැත. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේත් හිටපු නායිකාව වන එතුමිය එම ලිපිය ලියා තිබුණේ තමා අදටත් අනුශාසකත්වය දරණ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා සන්ධානයට එරෙහිව ගොස් එක්සත් ජාතික පක්‍ෂයට වැඩකිරීම සාධාරණීකරණය කිරීමටය. ”පක්‍ෂය ආරක්‍ෂා කිරීමට වඩා රට හැදීම වැදගත්” බව එතුමිය කියන්නේ ඒ අරමුණෙන් විය යුතුය. මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ඇති පෞද්ගලික විරසකයක් නිසා ශ‍්‍රී.ල.නි.ප.ය හා සන්ධානය පාවා දීම නොකළ යුතු බව අපේ මතයයි.

රාජපක්‍ෂ මහතා එතුමියගේ මළනුවන් වූ අනුර බණ්ඩාරනායක මහතාගේ සමීපතමයෙකු වූ නිසා පක්‍ෂ නායකත්වය ගැනීමට අක්කා සහ මල්ලී අතර තිබුණු තියුණු තරඟය හේතුකොටගෙන එදා සිටම චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය රාජපක්‍ෂ මහතාව නුරුස්සන ගතියක් තිබුණි. නමුත් රාජපක්‍ෂ මහතා එතුමියගේ නායකත්වය යටතේත් පක්‍ෂයේ සිටියේය. මේ නුරුස්සනා ගතිය බරපතළ විරසකයක් බවට පරිවර්තනය වූයේ රාජපක්‍ෂ මහතා 2005 නොවැම්බරයේදී ජනාධිපති වී දින කිහිපයක් ගතවූ තැනය. 2005 නොවැම්බර් 17 වනදා ජනාධිපතිවරණයට සතියකට පමණ පෙර එතුමිය විසින් පිහිටුවා ගන්නා ලද පදනමකට රුපියල් මිලියන 650 ක් පමණ ජනාධිපති අරමුදලින් බැර කිරීමට පියවර ගෙන තිබුණාය. රාජපක්‍ෂ මහතා බලයට පත්වූ පසු එතුමාට කිරීමට සිදුවූ පළමු කි‍්‍රියාවලින් එකක් වුයේ මේ චෙක්පත් අවලංගු කිරීමයි. රාජපක්‍ෂ මහතා එසේ කළේ කුමාරතුංග මැතිනියට එරෙහි වීමට නොව මේ ආකාරයට හදිසියේ පිහිටුවා ගන්නා ලද පුද්ගලික පදනමකට ජනාධිපති අරමුදලින් මුදල් බැර කිරීමෙන් මුළු ආණ්ඩුවටම මහත් අවමානයක් සිදුවීමට ඉඩ තිබුණු නිසාය.

ඒ මොහොත වන විටත් කුමාරතුංග මැතිනිය ඊට මාස දෙක තුනකට පෙර තලවතුගොඩ/මාදිවෙල ප‍්‍රදේශයෙන් රජයට අයත් අක්කර 1 1/2 ක ඉඩමක් තමාගේ නමට සින්නක්කර ඔප්පුවකින් ලියා ගැනීම නිසාද මේ රටේ මහත් ආන්දෝලනයක් හටගෙන තිබුණි. ඒ මත්තට මේ රුපියල් මිලියන 650ක ප‍්‍රශ්ණයද එකතු වූ විට ආණ්ඩුවේ ප‍්‍රතිරූපයට සිදුවන හානිය ගැන සලකා බලා රාජපක්‍ෂ මහතාට එම මුදල අත්හිටුවීමට සිදුවිය. හිටපු ජනාධිපතිනිය රජයේ ඉඩමක් සින්නක්කරව පවරා ගැනීමට එරෙහිව රටේ ඇතිවූ විරෝධය නිසා එතුමියට අවසානයේදී ඒ ඉඩමද රජයට ආපසු දීමට සිදුවිය. රාජපක්‍ෂ මහතා 2005 බලයට පත්වී දින ගණනක් තුළ සිදුවූ මේ දේවල් නිසා කුමාරතුංග මැතිනිය එතුමා සමඟ විරසකයක් ඇති කර ගත්තාය. අද දක්වා දුවන්නේ මේ විරසකය බවට සැකයක් නැත.

කුමාරතුංග මැතිනිය ශ‍්‍රී.ල.නි.ප.යට හා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එරෙහිව ගොස් යහපාලනය සඳහා එකතුවී සිටින්නේ කුමන පාර්ශව සමඟද යන්න විමසා බැලිය යුතුය. එතුමියගේ ස්වාමි පුරුෂයා වු විජය කුමාරතුංග මහතා 1988 දී ඝාතනය කරනු ලැබූවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් නොව එක්සත් ජාතික පක්‍ෂය විසින් යැයි ඇයගේ පාලන සමය තුළ පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසමක් මගින් තීන්දු කොට තිබුණි. එපමණක්ද නොව එතුමිය දැන් යහපාලනයේ නියමුවා හැටියට පිළිගෙන තිබෙන රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව මනුෂ්‍ය ඝාතන චෝදනා විමර්ශනය කිරීමට එතුමිය විසින්ම බටලන්ද කොමිසම නමින් විශේෂ ජනාධිපති කොමිසමක්ද පත්කොට තිබුණි. 2000 වසරේදී බටලන්ද නිවාස සංකීර්ණයේ සිදුවූවා යැයි කියන සිදුවීම් සම්බන්ධයෙන් එතුමිය රනිල් වික‍්‍රමසිංහ මහතා හිරභාරයට ගැනීමටද උත්සහ කළාය. රනිල් වික‍්‍රමසිංහ මහතාට එතුමිය එදා එල්ල කළ මේ බරපතළ චෝදනා සාවද්‍ය බවත්, වික‍්‍රමසිංහ මහතා නිර්දෝශී බවත්, එතුමිය එදා එවැනි චෝදනා එල්ල කළේ හුදෙක්ම විරුද්ධවාදියෙකු අපහසුතාවයට පත්කර දේශපාලන වාසි ගැනීමට බවත් කුමාරතුංග මැතිනිය අද වන තුරුත් කොතැනකවත් පවසා නැත.
 

රාජපක්‍ෂ පාලනයේ ”දරුණු මර්ධනයට හා හිංසනයට” විරුද්ධව ඊනියා ජනවාරි 08 ”විප්ලවය” රැකගැනීමට අවශ්‍ය යැයි එතුමිය කියයි. දරුණු මර්ධනකාරී නායකයන් වටා මහජනතාව හා දේශපාලන පක්‍ෂ රොක් වන්නේ නැත. රාජපක්‍ෂ මහතා වටා අද මහජනතාව හා දේශපාලන පක්‍ෂ රොක්වී සිටිනනේ එතුමා එවැනි පාලනයක් ගෙන නොගිය නිසාය. රාජපක්‍ෂ මහතා 2005 බලයට පත්වූ පසු පැවැත්වූ සියලූම මැතිවරණ ප‍්‍රචණ්ඩත්වයෙන් තොර සාධාරණ මැතිවරණ විය. එතුමා ජනවාරි 08 වනදා ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත්වීමටත් පෙර අරලියගහ මන්දිරයෙන් පිටවිය. ඊට පසු එතුමා පක්‍ෂයේ සභාපතිත්වයද ඇතැම් අයගේ ඉල්ලීම පරිදි මෛත‍්‍රීපාල සිරිසේන මහතාට භාරදුනේය. උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල ජනතාවටද නිදහස් හා සාධාරණ මැතිවරණ ලබා දුන්නේද රාජපක්‍ෂ මහතාය. යුද්ධයෙන් පසු සියලූ දෙමළ කණ්ඩායම් රාජපක්‍ෂ ආණ්ඩුව විසින් නිරායුධ කළ නිසා ඒ පළාත් වල ජනතාවට තමන් කැමති කෙනෙකුට ඡන්දය දීමට හැකි විය. 


නමුත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ පාලන සමයේ සිදුවූ දේවල් රටේ ජනතාවට අමතක නැත. 1999 වයඹ පළාත් සභා ඡන්දය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඉතිහාසයට මහත් කැළලක් එක් කලේය. ජනාධිපති ආරක්‍ෂක අංශයේ බැද්දගාන සංජීව වැනි පාතාල නායකයින් තියාගෙන මේ රටේ ගෙන ගිය භීෂණය තවත් කළු පැල්ලමකි. රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේකා පෙරේරා ගායක යුවලගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ඔවුන්ගේ දූදරුවන් ඉදිරියේම මොවුන්ට වධහිංසා පමුණුවා අධිකරණයෙන් වරදකරුවන් වූ ජනාධිපති ආරක්‍ෂක අංශයේ සාමාජිකයින්ට රූකාන්ත චන්ද්‍රලේඛා යුවලගේ බලවත් ඉල්ලීම පරිදි රාජපක්‍ෂ මහතාට ජනාධිපති සමාව දීමට සිදුවිය. එවැනි පාලනයක් ගෙන ගිය නායිකාවක් රාජපක්‍ෂ මහතාට ”දරුණු පාලකයා” යැයි කීම සැබවින්ම ජුගුප්සාජනකය. රාජපක්‍ෂ මහතා ත‍්‍රස්තවාදීන්ට එරෙහිව ඉතාම සෘජු ක‍්‍රියාමාර්ග ගත් බව සත්‍යකි. නමුත් එයින් එතුමා දරුණු පාලකයෙක් වන්නේ නැත. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් රාජපක්‍ෂ මහතාත් අතර වෙනස වන්නේ එතුමිය ත‍්‍රස්තවාදීන් ඉදිරියේ දෙකට නැමෙන අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන පක්‍ෂ වලට හිරිහැර හා අඩත්තේට්ටම් කළ අයෙකු වීමත්, රාජපක්‍ෂ මහතා ත‍්‍රස්තවාදීන් සෘජු ලෙස මර්ධනය කරන අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන පක්‍ෂ හා බලවේග වලට කිසිදු උපද්‍රවයකින් තොරව කටයුතු කරගෙන යෑමට ඉඩ සැලසූ සාධාරණ නායකයෙකු වීමත්ය.

රාජ්‍ය ධනය සාපරාධී ලෙස පරිහරණය කිරීමක් සම්බන්ධව හිටපු ජනාධිපතිනිය රාජපක්‍ෂ මහතාට චෝදනා කර සිටියාය. පොදු කටයුත්තක් සඳහා භාවිතා කල යුතු වූ රජයේ ඉඩමක් පුද්ගලික පාර්ශවයකට අයථා ලෙස පවරාදීම නිසා ශ්‍රේෂාධිකරණය විසින් එතුමියට රුපියල් ලක්‍ෂ 30 ක දඩයක් පනවන ලදී. එපමණක්ද නොව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රතිපත්තියටත් විරුද්ධව යමින් එතුමියගේ පාලන සමය තුල ශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් ගුවන් සමාගම, ටෙලිකොම් ආයතනය, රාජ්‍ය ලූණු සංස්ථාව, ගෑස් සමාගම හා මහා පරිමාණ වැවිලි සමාගම් විස්සක් ඇතුලූ විශාල ආයතන ගණනාවක් පුද්ගලික ව්‍යාපාරිකයන්ට විකුණා දැමීම සම්බන්ධයෙන්ද බරපතල දූෂණ චෝදනා තිබුණි. එතුමියගේ සමයේ සැක සහිත ආකාරයට පුද්ගලීකරණය කරන ලද ගෑස් සමාගම හා ශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් වැනි ආයතන පසුගිය සමයේ නැවත රජයට පවරා ගැනීමට රාජපක්‍ෂ ආණ්ඩුවට සිදුවිය. කුමාරතුංග මැතිනියගේ ක‍්‍රියාකලාපය එසේ වූ බැවින් රාජ්‍ය ධනය සාපරාධී අන්දමින් පරිහරණය කිරීම ගැන එතුමියට වෙන කිසිවෙකුටත් ඇගිල්ල දිගු කිරීමට සාදාචාරමය අයිතියක් ඇත් දැයි ජනතාවම තීන්දු කළ යුතුය. 

ජුනි මාසයේදී පාර්ලිමේන්තුව විසුරුවාහරින අවස්ථාව වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක්ම සිටියත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජාතිය අමතමින් පවසා සිටියේ සන්ධානයේ නායකයින් සියලූ දෙනාමත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ 99්‍ර කුත් මේ මැතිවරණය මෙහෙය වීමට ඉල්ලා සිටියේ රාජපක්‍ෂ මහතා පමණක් බවයි. මේ කර්තව්‍ය සඳහා එතුමියව තෝරා නොගෙන රාජපක්‍ෂ මහතා තෝරාගැනීම ගැනත් එතුමියට තමාගේම පාක්‍ෂිකයන් කෙරෙහි යම්කිසි කේනිතියක්, විරසකයක් හටගෙන තිබෙන බව එතුමියගේ වර්තමාන හැසිරීමෙන් පෙනේ. 

චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය අපගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු නායිකාවකි. රාජපක්‍ෂ මහතා ද එතුමිය යටතේ ඇමතිවරයෙකු හැටියට කටයුතු කර ඇත. නමුත් එතුමියට අපේ රටට සාර්ථක පාලනයක් දායාද කිරිමට නොහැකි විය. එතුමියගේ පාලන සමයේ කොටි සංවිධානය අන් කවරදාටත් වඩා ශක්තිමත් වූ අතර අපගේ රණවිරුවන් වැඩියෙන්ම මියගියේත්, මුලතිව්, කිලිනොච්චි හා අලිමංකඩ වැනි දරුණු පරාජයන් අත්දුටුවේත් ඒ කාලය තුලය. මේ රටේ ආර්ථිකය සහමුලින්ම බිඳ වැටී වර්ධන වේගය සෘණ ගණන් වලට ගියේද ඇයගේ පාලන සමය තුල පමණි. මේ අසාර්ථක වීම මැද තම දේශපාලන විරුද්ධවාදීන්ට කෙළවරක් නැතිව අඩන්තේට්ටම් කිරීමටද එතුමියගේ පාලන සමයේ ලක්‍ෂණයක් විය. එතුමියගේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වූ රාජපක්‍ෂ මහතා එකල මෙසේ අගතියට පත්වූ පාර්ශව වලට පුද්ගලිකවම කතා කොට ඔවුන්ට සිදුවූ අසාධාරණකම් හැකි පමණින් සමනය කිරීමට උත්සාහ ගත් බවද අදාල උදවිය හොදින් දනී. 

බලයෙන් පහවූ පසු නැවතත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියව දේශපාලනයට ගෙන ඒමට කිසිවකුවත් උත්සුක නොවූවේ එතුමියගේ එම කල්ක‍්‍රියාව නිසාය. නමුත් රාජපක්‍ෂ මහතා පරාජය වූ පසු ලක්‍ෂ සංඛ්‍යත ජනතාවක් තංගල්ලට පැමිණියේත් සන්ධානයේ නායකයින් හා ශ‍්‍රී.ල.නි.ප. යේ ප‍්‍රබලයින් සියළුදෙනාමත් එකතුවී එතුමාව නැවත දේශපාලනයට ගෙන ඒමට කටයුතු කළේත් එතුමා කුමාරතුංග මැතිනියගේ ආකෘතියේ පාලනයක් මේ රටේ ගෙන නොගිය නිසාය. එතුමියට දිනිය නොහැකි වූ යුද්ධය රාජපක්‍ෂ මහතා ජය ගත්තේය. අවුරුදු 11 ක් රටේ ජනාධිපතිනිය වුවද එතුමියට කිසිදු සංවර්ධනයක් ඇති කිරීමට නොහැකි විය. නමුත් රාජපක්‍ෂ මහතා මේ රටේ පෙර නෙවූවිරූ සංවර්ධනයක් ඇති කලේය. මේ රටේ රාජපක්‍ෂ මහතා වෙනුවෙන් ඉල්ලූමක් තිබෙන්නෙත්, කුමාරතුංග මැතිනියට ඉල්ලූමක් නැත්තේත් මේ නිසාය. මෙම කරුණු කාරණා මුහුකුරාගිය ආකාරයට තේරුම් ගෙන තමාගේ සිත කෙසේ හෝ පාලනය කරගෙන තමාගේ පියා විසින් ආරම්භ කරන ලද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා සන්ධානයට සතුරුකම් නොකර රටට වින කරන එතුමියගේ වර්තමාන කල් ක‍්‍රියාව වෙනස් කරගන්නැයි අපි එතුමියගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු. 

රොහාන් වැලිවිට
හිටපු ජනාධිපතිතුමාගේ මාධ්‍ය ලේකම්

Rate this item
(1 Vote)
Last modified on Saturday, 08 August 2015 01:34