May 10, 2024

'අර්ජුන අයියා පාක්‌ෂිකයන්ට පස්‌ස හරවලා' - ප්‍රසන්න

තමන්ට ඡන්දය දුන් ජනතාව කිසිදා රවටා නැති බවත් සිය සහෝදරයා මෙන් ඡන්දය දුන් ජනතාවට පස්‌ස හරවා නැති බවත් බස්‌නාහිර මහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මහ ඇමැතිවරයා මේ බව පැවසූවේ මහර මැතිවරණ බල ප්‍රදේශයේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්‌ථාවට සහභාගි වෙමිනි. 

මුලින්ම කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් සන්ධානයෙන් මැතිවරණයට තරග කළ අර්ජුණ රණතුංග මහතා ඉන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන් කලුතරට තරග කළ බවත්, දැන් එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ගම්පහට තරග වදින බවත් මහ ඇමැතිවරයා පැවසී ය.

එය තමන්ට ඡන්දය දුන් ජනතාවට පස්‌ස හැරවීමක්‌ නොවේ දැයි ප්‍රශ්න කළේ මහ ඇමතිවරයා තමන් කිසිසේත් ජනතාව ලබා දුන් ඡන්දය හෑල්ලූ නොකරන බවත්, තමන්ට ලබා දෙන ඡන්දයට වටිනාකමක්‌ නැතැයි අර්ජුණ රණතුංග මහතා කරන ප්‍රකාශය තරම් තවත් විහිළුවක්‌ නැති බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රණතුංග මහතා මෙසේද පැවසීය.

''මගේ සහෝදරයා අර්ජුණ රණතුංග මහත්තයා කියලා තියෙනවා මට දෙන ඡන්දයේ වටිනාකමක්‌ ලැබෙන්නේ නෑ, මම කවදාවත් මගේ පාක්‌ෂිකයන්ට පස්‌ස හරවලා නෑ. මම හැමදාම තරග කළේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයෙන්. හැබැයි අර්ජුන අයියා ඡන්දේ දුන්න පාක්‌ෂිකයන්ට පස්‌ස හරවලා එයා ගියා කලුතරට. කලුතරින් එයා තරග වැදුණේ ෆොන්සේකාගේ පක්‍ෂයෙන්. ඒ පක්‍ෂයෙන් ඉල්ලලා දිනලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කලුතර තමන්ගේ ඡන්ද දායකයන්ට පස්‌ස පැත්ත හරවලා ආවා ගම්පහට. දැන් එයා ඉල්ලන්නේ ගම්පහින්. දැන් අපට තියෙන සහතිකය මොකක්‌ද ගම්පහින් ඡන්දේ දෙන එක්‌සත් ජාතික පාක්‌ෂිකයන්ට එයා පස්‌ස හරවන එකක්‌ නෑ කියලා. මම හැමදාම කළේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ දේශපාලනය. මම ගත්තේ අපේ පාක්‌ෂිකයන්ගේ පැත්ත. ඒ නිසා තමයි මුලින් ඡන්ද 35,000 ක්‌ ලැබුණු මට පසුගිය පළාත් සභා ඡන්දෙදී ඡන්ද 250,000 ක්‌ ලැබුණේ. මම මගේ ඡන්ද දායකයන් රැවැට්‌ටුවා නම් මගේ ඡන්ද දායකයන්ගේ ඡන්දෙට වටිනාකමක්‌ නොදුන්නා නම් මගේ ඡන්දය වැඩි වේවිද ? අර්ජුණ අයියා හිතාගෙන ඇති මම එයා වගේ කියලා. මම මගේ තාත්තා වගේ. තාත්තා කවදාවත් පාක්‌ෂිකයා දාලා ගියේ නෑ. පාක්‌ෂිකයා රැවැට්‌ටුවේ නෑ. ඒ තාත්තගේ අඩි පාරේ යන මම අපේ පාක්‌ෂිකයෝ රවට්‌ටන්නේ නෑ.“ 

“මට කනගාටු මගේ අයියා, තාත්තට පිහියෙන් ඇනපු, අපේගේ ගිනි තිබ්බ එක්‌සත් ජාතික පක්‍ෂයත් එක්‌ක එකතු වෙලා මේ වගේ කතා කියන එක ගැනයි. ඔහු තාත්තාගේ දේශපාලනය පාවා දුන්නා. ඒකට ගම්පහ අපේ පාක්‌ෂිකයන් කවදාවත් ඔහුට සමාව දෙන්නේ නෑ. මේ අය හීන දකින්නේ මෛත්‍රී-රනිල් ආණ්‌ඩුවක්‌ හදන්න. අපි ඒකට ඉඩ තියන්නේ නෑ. අගොස්‌තු 17 වනදා එ.ජ.නි.ස ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නේ මන්ත්‍රී ආසන 115 ක්‌ ලබා ගෙනයි.“ යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.  

Rate this item
(0 votes)