May 14, 2024

'එජාපය කියන දේ කළොත් දේශීය කර්මාන්ත බිඳ වැටෙනවා' - හඳුන්නෙත්ති

එජාපයේ හා සන්ධානයේ ප‍්‍රතිපත්තිවල ඇත්තේ හැමදාම දුන් පොරොන්දු මල්ලක් බවත් එජාපයේ වැඩපිළිවෙළ අනුව බොහෝ රාජ්‍ය ආයතන නැවත අධිකාරි බවට පත්කරන ප‍්‍රකාශ අලුත් ප‍්‍රතිපත්ති මාලාවේ ඇතුළත්වන බවත් ජ.වි.පෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද(07) බත්තරමුල්ල, පැලවත්ත, ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී හඳුන්නෙත්ති මහතා මෙසේද පැවසී ය.

“වෙන මැතිවරණවලට වඩා යම් ප‍්‍රමාණයක සාමකාමී වගේම ප‍්‍රතිපත්තිමය දේශපාලනයට ප‍්‍රවේශ වන ගුණාත්මක තත්වයක් 19වැනි සංශෝධනය නිසා ඇතිවී තිබෙන බව අපිට පේනවා. ඒ වගේම ඡන්ද ප‍්‍රචාරක වැඩවලට පාතාලයට සම්බන්ධ අයත් යොදාගත් බවට ප‍්‍රවෘත්ති පළ වෙනවා. දේශපාලනඥයා සහ පාතාලය අතර එතෙක් තිබුණු බොහොම ළඟ සම්බන්ධතාවය ප‍්‍රතික්ෂේප කරලා ජනවාරි 08වැනිදා යහපාලනය කැඳවා ගත්තා. යහපාලනය කියන එකේ අර්ථය පරණ ආණ්ඩුවේ වැරදි තමන් කරගහගන්න එක නෙවෙයි. නමුත් යහපාලනය ඉස්සරහට දාගෙන පාතාලයත් එක්ක සම්බන්ධතා පවත්වන එක තහවුරු වෙලා තිබෙනවා. ඒ වගේම අධිකරණ නියෝජ්‍ය ඇමතිතුමා පොලිස් නිලධාරීන්ට තර්ජනය කරන්න පටන්ගෙන තිබෙනවා. බ්ලූමැන්ඩල් සිද්ධියෙන් තහවුරු වෙන්නේ කලින් ආණ්ඩුව නඩත්තු කරපු පාතාලය එක්සත් ජාතික පක්‍ෂ නායකයින්ගේ නඩත්තුවට අරගෙන තිබෙන බවයි.“ 

“මැතිවරණ ප‍්‍රතිපත්තිවල ‘අනාගතයට සහතියක්’ කියලා තිබෙනවා. ඒ වගේම ‘මාස 60කින් අලූත් රටක්’ කියන පංචවිධ ප‍්‍රතිපත්ති තිබෙනවා. නමුත් මේවා තුළ තිබෙන්නේ කරුණු හැටියට හැමදාම දුන්නු පොරොන්දු මල්ලක්. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ, ඉදිරි අවුරුදු 05 කි‍්‍රයාත්මක කිරීමට සංයුක්ත සැලැස්මක් සහිත රට හදන්න පුළුවන් ප‍්‍රතිපත්තිමය රාමුවක්. නමුත් එක්සත් ජාතික පක්‍ෂයත් සන්ධානයත් ඡන්ද ගන්න හිතාගෙන පොරොන්දු මල්ලක් දීලා තිබෙනවා. අවුරුදු 09ක් ගිහිල්ලත් මූලික වැටුප සතයකින් වැඩි නොකරපු මහින්ද රාජපක්‍ෂ මහත්තයා අද කියන්නේ මූලික වැටුප රුපියල් 25,000ක් කරනවා කියලා. මේ විදියට වැඩිකරන්න තියෙන සැලැස්ම මොකක්ද කියලා කියන්න  ඕනෑ. ආදායම උපයාගන්න විදිය කියන්න  ඕනෑ. අද වෙනකොට පොරොන්දු මල්ලක් එල්ලාගෙන දැන්වීම් ගොඩක් ප‍්‍රචාරය කරන බව පේනවා. දැන්වීම්වලට පෙනී ඉන්න අය පවා දන්නවා තමන්ගේ රඟපෑම හෘදසාක්‍ෂියට එකඟ නැහැ කියලා.“ යැයිද ඔහු පෙන්වා දුන්නේය.

“එක්සත් ජාතික පක්‍ෂය ‘යළි පුබුදමු ශී‍්‍ර ලංකා වැඩපිළිවෙළ’ නැවත හඳුන්වාදී තිබෙනවා. ඒ මූලික වැඩපිළිවෙළ අනුව අලුත් ප‍්‍රතිපත්ති මාලාවේ බොහෝ රාජ්‍ය ආයතන නැවත අධිකාරි බවට පත්කරන ප‍්‍රකාශ ඇතුළත් වෙනවා. පසුගිය දවසක ව්‍යාපාරික සමුළුවක් ඇමතූ රනිල් වික‍්‍රමසිංහ මහත්මයා අවධාරණය කළේ සිංගප්පූරුව සහ කොරියාව අනුගමනය කරන ආකාරයේ මුළුමනින්ම විවෘත කළ ආනයන අපනයන ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාත්මක කරන බවයි. අපේ රටේ ඒ තත්වය ඇතිකළොත් දේශීය කර්මාන්තකරුවා මුළුමනින්ම බිඳ වැටෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුළුමනින්ම බිඳවැටෙනවා. අපේ රටේ කර්මාන්තකරුවා ගැන රජයන් නිවැරදිව හඳුනාගන්න  ඕනෑ. අපේ රටට අවශ්‍ය ආනයන පිළිබඳව නිවැරදි අවබෝධයක් තිබෙන්න  ඕනෑ. අපේ රටට මේ වෙනකොට වැඩිපුරම ගෙන්වන්නේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්න හැකි දේවල්. අපි ඉදිරිපත් කරතිබෙන නිෂ්පාදන හා සේවා ආර්ථික ප‍්‍රතිපත්තියේ ඇතුළත්කර තිබෙන්නේ පිරිවැය අඩුවෙන් නිෂ්පාදනය කළ හැකි කර්මාන්ත අපේ රට තුළ ඇතිකරගත යුතු බවයි. ජාතික ආර්ථිකයක් ගොඩනැගිය හැක්කේ ඒ තුළින් පමණයි.“ යැයි හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසී ය. 

 

Rate this item
(0 votes)