May 13, 2024

හලාවත දුම්රියේ පිපිරීම ගැන පරීක්ෂණ - බටය තුළ ISIS ලකුණක්! (VIDEO)

හලාවත දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රී 07.20 ට පමණ මෙම පිපිරීම සිදු වී ඇත. ඉන් තුවාල ලබා ඇති රණසිංහ ලේකම්ගේ සංජීව රණසිංහ යන පුද්ගලයින් හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවෙකු ලෙස සේවය කරන පුද්ගලයෙකි. ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ඊයේ පස්වරු 04.30ට කොළඹ කොටුවෙන් පිටත් වූ දුම්රිය රාත්‍රී 07.10 පමණ වනවිට හලාවත දුම්රිය ස්ථානයට පැමිණ ඇත. දුම්රියේ පැමිණි මගීන් බැස යාමෙන් පසුව දුම්රිය කම්කරුවෙකු එම දුම්රියේ මැදිරි පිරිසිදු කිරීමේ නිරත ව සිට ඇත.

දෙවැනි දුම්රිය මැදියේ පිටුපස අසුනක කිසියම් බෑගයක් දැක ඇති එම කම්කරුවා එය රැගෙන සොලවා බලන විට එම පිපිරීම සිදු වී ඇති බව පොලීසිය පවසයි.

පුපුරා ගොස් ඇත්තේ අඟල් 1 ½ ක විශ්කම්භයකින් යුත් ප්ලාස්ටික් බට කැබැල්ලක් බව පොලීසිය විසින් අනාවරණය කර ගෙ‍න තිබේ.

එම ප්ලාස්ටික් කැබැල්ලේ ISIS යන ඉංග්‍රීසි අකුරු තිබී ඇත. ඒ අනුව ‍පුපුරා ගොස් ඇත්තේ කිසියම් කණ්ඩායමක් විසින් එවන ලද බෝම්බයක් ද යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී තිබේ.

එම ප්ලාස්ටික් බටය තුළ වෙඩි බෙහෙත් සහ යකඩ බෝල තිබී ඇති බව පොලීසිය සදහන් කරයි. පුපුරා යාමෙන් දුම්රිය මැදිරියට බරපතළ හානි සිදු වී නොමැත.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන හලාවත පොලීසිය විසින් සිදු කරයි.

 

Rate this item
(0 votes)