May 12, 2024

අපේක්ෂකයින්ට ආරක්ෂක අංශයෙන් බාධා - පෙරටුගාමීන් කියයි

යාපනය, මඩකලපුව හා වන්නි දිස්ත‍්‍රික්වල සිය අපේක්ෂකයින්ට රජයේ ආරක්ෂක අංශ මගින් බාධා සිදුවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (06) පෙරටුගාමී සමාජවාදී පක්ෂය කැඳ වූ මාධ්‍ය හමුවක දී ය. 

විශේෂයෙන්ම යාපනේ සිය පක්ෂයේ අපේක්ෂකයෙක්වන යාපනේ විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ශිෂ්‍යයෙක්වන දිනේෂ්වරන්ගේ චුන්නාකම්හි නිවසට ගොස් ඔහු පිළිබඳ තොරතුරු සොයා ඇති බවත් මඩකලපුවේ අපේක්ෂක පද්මනාදන් ජෙයරාජි කරදියනාරුගේ නිවසට ගොස් ඔහු පොලීසියට කැඳවා ඔහුගේ පෞද්ගලික තොරතුරු හා පක්ෂය හා සම්බන්ධ වූ ආකාරය පිළිබඳ විමසා ඇති බවත් ඔහු සඳහන් කළේ ය.

එහිදී අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මහතා, 

"මෙහිදී පොලීසිය කියන්නේ ඔවුන්ට එසේ කිරීමට අයිතියක් ඇති බවයි. නමුත් මෙහෙම කරන්නේ උතුරු නැගෙනහිර අපේ පක්ෂයේ අයගෙන් විතරයි. මේක විශාල ප‍්‍රශ්නයක්. දැන් එහෙම කියන පොලීසිය අයට සිදු වෙන මරණ තර්ජන ගැන මොනවත් කරන්නේ නෑ. පසුගිය දවසක ඊපීඩීපී සංවිධානයේ පිරිසක් අපේ පාක්ෂිකයන්ගේ නිවෙස්වලට ගිහින් කියලා තිබුණේ. මිනිස්සු සීයක් දෙසීයක් පෝලිම් තියලා මරපු අපිට උඹලට එහෙම කරන එක ප‍්‍රශ්නයක් නෙවෙයි කියලා. ආයුධ සන්නද්ධව තමයි ඒ අය දේශපාලනය කරන්නේ. අපේ ලලිත් කූගන් සහෝදරවරු පැහැරගත්තේ අධි ආරක්ෂක කලාපයක් ඇතුළේ අපි අහනවා ඒවාට ගත්ත ක‍්‍රියාමාර්ග මොනවද කියලා. මේක දේශපාලනය කිරීමේ අයිතිය පිළිබඳ ඇතිවෙලා තියෙන බරපතල තත්ත්වයක්.  ඔන්න ඔහොම තමයි දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රියාත්මක වෙන්නේ."

"ප‍්‍රචාරක වැඩ කරද්දී. මුදල් අධික ලෙස වියදම් කරන මැතිවරණ ප‍්‍රචාරණයන්ට ඕන තරම් අවස්ථාව තියෙනවා. අපිට තියෙන්නේ පොඩි ලොරි කට්ටක්, වෑන්කට්ටක් ත‍්‍රී විල් එකක් වගේ ඒවගෙන් තමයි අපි ප‍්‍රචාරක කටයුතු කරන්නේ. පොලීසිය කියනවා, අපේක්ෂකයින්ට මේවගේ යන්න බෑ කියලා. අපිට ලොකු වාහන නෑ. අපි තියන රැස්වීම් උනත් කරන්නේ මිනිස්සු රැස්වෙන තැන්වලට ගිහින් කතා කරන එක. ඒවට අවසර ගන්න ගියාම පොලීසියෙන් විශාල වශයෙන් නොයෙක් කරුණු කියලා බාධා කරනවා. මීගොඩ ආර්ථික මධ්‍යස්තානේ රැස්වීමක් කරන්න ගියාම අපිට කියනවා ප‍්‍රදේශවාසීන් 10කගෙන් අත්සන් අරන් එන්න කියලා. කෑගල්ලේ පසුගිය 06 දා පැවැති රැස්වීමක පෝස්ටර් අලවපු අපේ ක‍්‍රියාකාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්තා. ඇලෙව්වේ රැස්වීම් පෝස්ටර් ඒවගේ ඡන්ද ලකුණුත් නෑ. අනිත් පක්ෂවල වගේ මූණු දාලත් නෑ. පොලීසියෙන් මැතිවරණ නිරීක්ෂකයෝ ඇහුවම ඇයි කියලා පොලීසිය කියලා තියෙන්නේ ඒකෙ කථිකයන්ගේ නම් තිබුණා කියලා. අපි කියන්නේ එක්කෝ පොලීසිය මැතිවරණ නීතිය දන්නේ නෑ. නැත්නම් මේක හිතා මතාම අපේ දේශපාලනය නවත්වන්න කරන දෙයක්." යැයි ඔහු වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)