April 28, 2024

පළාත් ඇමතිට පොලීසිය තුළ දී මරණ තර්ජනය කළ තිදෙනෙක් අත්අඩංගුවට 

මධ්‍යම පළාත් සභාවේ ක්‍රීඩා, ග්‍රාමසංවර්ධන, වනිතා කටයුතු ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට දඹුල්ල පොලීසිය තුළ දී මරණ තර්ජනය කර සැඟ වී සිටි පුද්ගලයින් තිදෙනෙක් සැකපිට ඊයේ (05) දඹුල්ල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එජාප මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක රන්ජිත් අලුවිහාරේ මහතාගේ ආධාරකරුවන් ය. ජනක බණ්ඩාර මහතාගේ නිවස ඉදිරිපිට තිබූ සැරසිලි හා කටවුට් කඩා විනාශ කළ බවට පැමිණිල්ලක් කිරීමට දඹුල්ල පොලීසියට ගිය අවස්ථාවේ දී පොලීසිය තුළ දී පුද්ගලයන් තිදෙනෙක් තමන්ට මරණිය තර්ජනය කර පරුෂ වචනයෙන් බැණ වැදුන බව ප්‍රමිත බණ්ඩාර මහතා පොලීසියට පැමිණිලි කර තිබිණි. ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට යනවිට ඔවුන් පලාගොස් සිටි බව පොලීසිය පවසයි.

දින 05කින් අනතුරු ව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (06) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

කාංචන කුමාර - දඹුල්ල 

 

Rate this item
(0 votes)